fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්සොඳුරු පියාසැරියකුගේ වරිගයක අවසානය​

    සොඳුරු පියාසැරියකුගේ වරිගයක අවසානය​

    ලොව සිටින විශාලතම සහ අලංකාර ජලචර පක්ෂියෙකු වන සයිබීරියානු ක්‍රේන් (Siberian Crane) පක්ෂියාගේ සුවිශේෂී ගහනයක ඉතිරිව සිටි පක්ෂීන් දෙදෙනාගෙන් පිරිමි පක්ෂියා මෙවර ශීත සෘතුවේදී සුපුරුදු වාසස්ථානයෙන් මෙතෙක් වාර්තාගත නොවීම හේතුවෙන් මෙම ගහනය රැකගැනීමට තිබූ අවසන් අවස්ථාවත් ගිලිහී ගොස් තිබෙන බවට පක්ෂි විද්‍යාඥයන් තම කනස්සල්ල ප්‍රකාශ කර තිබේ.

    රතු පාට මුහුණක්, දීප්තිමත් කහ පැහැති ඇස්, කලු හොටක් ඇති, දීප්තිමත් සුදු පැහැ ශරීරයකිනුත් කළු පැහැ ප්‍රාථමික පියාසර පිහාටුවලිනුත්, රෝස පැහැ පාදවලිනුත් ඉතා අලංකාරවත් වූ ‘සයිබීරියානු ක්‍රේන්’ පක්ෂියාගේ උස සෙ.මී.140(අඟල් 51) පමණ වේ. එනම් ශ්‍රී ලංකාවේ හමුවන උසම පක්ෂියා වන අලි කොකාටද මඳක් විශාල වේ.

    මේ පක්ෂියෙක් කිලෝග්‍රෑම් 6.00 පමණ බරක් දරයි. ඉතා හොඳින් පියාසර කිරීමේ හැකියාව පවතී.

    නමින් හැඟෙන පරිදිම සයිබීරියාවේ වසන මෙම පක්ෂියාගේ ප්‍රධාන ගහන දෙකක් තිබේ. එක් ගහනයක්, එනම් නැගෙනහිර ගහනය (Eastern Population)​ ශීත ඍතුව ගත කිරීමට චීනයට පැමිණෙන අතර අනෙක් ගහනය හෙවත් බටහිර ගහනය (Western Population) අතීතයේදී ඉරානය සහ ඉන්දියාවේ තම ශීත ඍතුව ගතකර තිබේ.

    එනමුත්, ඉන්දියානු ගහනය 2002 පසු වාර්තාවන් නොමැති වූ අතර ඉතිරි පක්ෂින් කීප දෙනා ශීත ඍතුව ගතකලේ ඉරානයේ ය​.

    පරිසර විනාශය සහ හායනය නිසා මෙන්ම දඩයම් කිරීම නිසාද විශාල ලෙස විනාශයට ලක්වී තිබෙන මෙම පක්ෂියාගේ ඉතිරිව තිබෙන ගහනය 2010දී 3200 පමණ වුවත් එය මේ වනවිට පක්ෂීන් 2000 තෙක් අඩුවී තිබෙන බව වාර්තා වේ. එසේම මේ අය නැගෙනහිර ගහනයට අයත් වූවන් ය.

    බටහිර ගහනය 2007 සිට සමන්විත වූයේ ඔමිඩ් නම් තනි පිරිමි පක්ෂියෙකුගෙන් පමණකි. මෙම පක්ෂි විශේෂය මේ වන විට ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත ලේඛනයේ වඳවී යාමේ දැඩිලෙස තර්ජනයට ලක්වූ හෙවත් වඳවීයාමට අත්‍යාසන්න තත්වයට (Critically Endangered)(CR) අයත් පක්ෂියෙකි.

    ඉරානයේ හමුවූ පක්ෂීන් යුවළෙන් ගැහැණු සතා 2007 දී මිනිසුන් විසින් වෙඩිතබා මරාදමන ලද හෙයින් ඉතිරිව සිටියේ පර්සියානු බසින් “ඕමිඩ්” ලෙස නම්කර තිබූ පිරිමි පක්ෂියා පමණකි. (මෙහි දෙවන සහ තෙවන චායාරූපවල සිටින්නේ මෙම පක්ෂියා​)ය.

    මෙම “ඕමිඩ්” යන නමේ අරුත වන්නේ බලාපොරොත්තුව යන්නයි. මේ නමින් අදහස් කලාක් මෙන්ම ඕමිඩ් හරහා බටහිර පරපුර වඳවී යානොදී රැකගත හැකි වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසයකින් පසුවිය​.

    පසුගිය වසරේදී (2022) මෙම පක්ෂියා වෙත ඉරානයේදී ගැහැනු සතෙක් මුදාහරින ලදී. ඇති කරන ගහනයකින් බිහිවූ මෙම ගැහැණු සතාට​ “රොයා” යන නම දී තිබේ. මෙම පක්ෂීන් දෙදෙනා හමුවීමෙන් අනතුරුව එක්ව කාලය ගතකර මාර්තු මාසයේදී නැවත සතිබීරියාවට නික්ම ගියද ටික දිනකට පසු ඉරානයේ තනිවී සිටි රොයා නැවත අල්ලා ගන්නා ලදී.

     එසේම ඔමිඩ් පක්ෂියාද අසර්බයිජානයේදී වාර්තා නොවීම නිසා විද්‍යාඥයන් කනස්සල්ල පල කළ අතර නැවත වසර අගදී සුපුරුදු පරිදි ඉරානයට නොපැමිනීම නිසා මෙම අවසන් පිරිමි පක්ෂියාද අනතුරකට ලක්වී තිබෙන බව අනුමාන කෙරේ.

    එය එසේ වී තිබේ නම්,එය සයිබීරියානු ක්‍රේන් පක්ෂියාගේ බටහිර ගහනයේ ශෝචනීය අවසානය වනු ඇත​.

    අතීතයේදී සයිබීරියන් ක්‍රේන් පක්ශීන් සුළු ගහනයක් ශීත ඍතුව ගත කිරීමට ඉන්දියාවටත් පැමිණුනු නිසාවෙන් කිසියම් කලෙකදී මින් පක්ෂියෙකු හෝ කීප දෙනෙක් අහඹු සංක්‍රමනිකයෙක් (Vagrant) ලෙසින් ශ්‍රී ලංකාව කරාත් පැමිනීමේ සුලුහෝ ඉඩකඩත් ඉතිරිව තිබුනි.

    එහෙත් මීට දශක දෙකකට පෙර එම ගහනය වඳවී ගියත්, ඉරානයේ පක්ෂීන් හරහා එම ගහනය ප්‍රතිස්ථාපනය වීම කෙරේ සුළු හෝ බලාපොරොත්තුවක් තබාගත හැකි විය​.

    මේ අනුව පෙනීයන්නේ මෙම වසර සයිබීරියානු ක්‍ර්‍ර්න් පක්ෂියාගේ බටහිර ගහනයේ නිමාව මෙන්ම ශ්‍රී ලංකාව තුළ මේ පක්ෂියෙකු කවර කලෙක හෝ දකින්නට තිබූ ඉතාමත් සුලු ඉඩකඩේද අවසානය සටහන් වීමක් බවයි.

    (ඡායාරූප අනතර්ජාලයෙනි.)

    ආචාර්ය ජගත් ගුණවර්ධන

    පාරිසරික නීතිඥයෙකු හා ක්‍රියාකාරිකයෙකු වන ජගත් ගුණවර්ධන මහතා දශක තුනක් පුරාවට ශ්‍රී ලංකාවේ වනජීවී, ශාක, සත්ත්ව විශේෂ සහ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා තම ජීවිතය කැප කර ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ආචාර්ය ජගත් ගුණවර්ධන
    පාරිසරික නීතිඥයෙකු හා ක්‍රියාකාරිකයෙකු වන ජගත් ගුණවර්ධන මහතා දශක තුනක් පුරාවට ශ්‍රී ලංකාවේ වනජීවී, ශාක, සත්ත්ව විශේෂ සහ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා තම ජීවිතය කැප කර ඇත.

    ඔබේ අදහස් දක්වන්න.