fbpx
තවත්
    මුල් පිටුවspecialශ්‍රී ලංකාවේ ගුවන්සේවා කර්මාන්තයට 111 වසක් සපිරෙයි

    ශ්‍රී ලංකාවේ ගුවන්සේවා කර්මාන්තයට 111 වසක් සපිරෙයි

    1903 දෙසැම්බර් 17 දින, ඇමරිකාවේ කිටි හෝක් හි දී රයිට් (ඔලිවර් සහ විල්බර්) සහෝදරයන් විසින් පළමු වරට යාන්ත්‍රික බලයෙන් ගුවන ජයගැනීමත් සමගින් සීඝ්‍ර විකාශණයකට ලක්වූ ගුවන් යානාව පළමු සහ දෙවන ලෝක යුධ කටයුතු වෙනුවෙන් අවියක් ලෙස භාවිත වීම හේතුවෙන් අති මහත් විනාශකාරී සහ පීඩාකාරී තත්වයක් ඇතිවිය. යලිත් එවැනි තත්වයක් ඇති නොවී, මිනිසාගේ ගුවනින් ගමන් කිරීමේ නොනිත් ආශාව වෙනුවෙන් නිපදවූ ගුවන් යානාව, යහපත් අරමුණු වෙනුවෙන් යොදාගැනීමේ සහ සපලදායී කර්මාන්තයක් ලෙස ගුවන්සේවාව ලොවට දායාද කිරීමේ අවශ්‍යතාවය එවක ලෝක බලවතුන් හට වැටහී තිබිණ.

    ඒ හේතුවෙන් සිවිල් ගුවන්සේවා කර්මාන්තය එකම නියාමන ක්‍රමවේදයකට නතු කරගැනීමේ උදාරතර අරමුණ පෙරදැරිව “චිකාගෝ සම්මුතිය” නමින් ප්‍රඥප්තියක් හඳුන්වා දෙන ලද අතර රටවල් 52 කට අයත් නියෝජිතයන් 1944 වසරේ දෙසැම්බර් 07 දින ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ හි දී එකී ප්‍රඥප්තියට අත්සන් තැබීමෙන් පසු එය බල ගැන්වින. මෙම සවිමත් නියාමන පද්ධතිය ලොව පුරා ක්‍රියාත්මක කිරීමට හැකි ආයතනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ වන සුවිශේෂී ආයතනයක් ලෙස ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය බිහිවන්නේ ඒ අනුව ය.

    නිදහස් රාජ්‍යයක් බවට පත්වීමෙන් පසු 1948 ජුනි මස 01 දින ශ්‍රී ලංකාව ද චිකාගෝ සම්මුතියට අත්සන් තැබීමෙන් පසු ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ සාමාජිකත්වය ලබාගනිමින් ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා නියාමන ක්‍රමවේදය අප රටට අයත් ගුවන් අවකාශයේ ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය මුලීක අඩිතාලම යෙදීය.

    වර්ථමානය වන විට ලොව පවතින, සුරක්ෂිත, ආරක්ෂිත මෙන්ම කාර්යක්ෂමතාවයෙන් හෙබි, වේගවත්ම ප්‍රවාහන මාධ්‍ය බවට ගුවන් ප්‍රවාහනය පත්වන්නේ මෙයින් වසර 79 කට ප්‍රථම හඳුන්වා දුන් චිකාගෝ සම්මුතියේ අන්තර්ගත නියාමන ක්‍රමවේදයන් මනා සංවිධානාත්මකව ක්‍රියාවට නැංවීම හේතුවෙනි.

    එම නිසා ගුවන්සේවා කර්මාන්තයේ නියැලෙන්නන් ලෙස මෙන්ම නියාමන ආයතනය ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියට සහ කර්මාන්ත කරුවන් හට ද දෙසැම්බර් 07 සුවිශේෂී දිනයකි.

    එමෙන්ම යාන්ත්‍රික බලයෙන් ජවගැන්වූ පළමු ගුවන් යානාව ශ්‍රී ලංකා ධරණී තලයෙන් වා තලයට මුසු වන්නේ මෙයින් වසර 111 කට ප්‍රථම එනම් 1912 වසරේ දෙසැම්බර් 07 දිනය. ඒ කොළඹ තුරඟ තරඟ පිටිය ගුවන්තොටුපොලක් බවට පරිවර්ථනය කරමින් ජර්මන් ජාතිකයන් දෙදෙනෙකු වූ මාක් පෝප් සහ ජෝර්ජ් වර්මින්ග් විසින් යාන්ත්‍රික ජවයෙන් බල ගැන්වූ ගුවන් යානාවක් සාර්ථකව ගුවන්ගත කිරීමෙනි.

    ඒ සිදුවීමත් සමගින් ශ්‍රී ලංකාවේ ගුවන්සේවා කර්මාන්තයේ ආරම්භය සනිටුහන් වූ බැවින් දෙසැම්බර් 07 දිනය ශ්‍රී ලංකා ගුවන්සේවා ඉතිහාසය පිළිබඳ සැලකිළිමත් වීමේ දී ඉතා වැදගත් ය.

    එබැවින් ජාත්‍යන්තර වශයෙන් ගුවන්සේවා කර්මාන්තයේ නියාමනය උදෙසා බිහිවූ චිකාගෝ සම්මුතිය අත්සන් තබා වසර 79 ක් සහ ජාතික වශයෙන් ගුවන්සේවා ඉතිහාසය පිළිබඳව ඉතා වැදගත් වන ශ්‍රී ලංකාවේ ගුවන්සේවා කටයුතු ඇරඹී වසර 111 ක් සනිටුහන් වන 2023 දෙසැම්බර් 07 දිනය ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ජාතික වශයෙන් ද වැදගත් වේ.

    ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවාව දියුණුවට කැපවූ සියළු දෙනාගේ සේවය අද දවසේ මෙලෙස ඇගයීමට ලක්කරන්නෙමු.

     

    සිවිල් ගුවන්සේවා ප්‍රවර්ධන ඒකකය
    ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.