fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලක්දිවට පිදූ පූජනීය වස්තූන් වසර 137 පසු යළිත් සියමට

    ලක්දිවට පිදූ පූජනීය වස්තූන් වසර 137 පසු යළිත් සියමට

    දකුණු ලක ගාලු පුරවරයේ පිහිටි ඓතිහාසික විහාරස්ථානයක් වන ගාල්ල මිණිවන්ගොඩ පරමානන්ද විහාරය හෙවත් අටපට්ටම් විහාරය අතිගෞරවාර්හ අලුත්නුවර පඤ්ඤාතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් වර්ෂ 1824 දී ආරම්භ කරන ලදී.

    උන්වහන්සේගේ ශිෂ්‍යවර අතිගෞරවාර්හ බුලත්ගම ධම්මාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ සියම හෙවත් වත්මන් තායිලන්තයේ IV වන රාම හෙවත් මොන්කුට් රජු සහ V වන රාම හෙවත් චූලාලංකාර රජු සමඟ සමීප සබඳතාවයක් පවත්වන ලදී.

    එහි ප්‍රතිපලයක් ලෙස මොන්කුට් රජු විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ මුද්‍රණාලය වූ ලංකාලෝක මුද්‍රණාලය ආරම්භ කිරීමට ද ආධාර උපකාර කරන ලදී.

    එම රජුගේ පුත් වූ චුලාලංකාර රජුගේ ආරාධනාවෙන් බුලත්ගම හිමියන් තායි රජමාලිගාව අසල විහාරයක සාර මසක් වස් විසූ අතර නැවත උන්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරන අවස්ථාවේ දී එතුමන් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ඇතුළු පූජා වස්තු ගණනාවක් උන්වහන්සේට පිරිනම ලදී.

    වර්ෂ 1897 චූලාලංකාර රජු ලංකාවට පැමිණි අවස්ථාවේ දී මෙම විහාරස්ථානය වන්දනාමාන කළ අතර එම ඓතිහාසික අවස්ථාව සිහිපත් වීම සඳහා විහාරස්ථ දායකයන් විසින් චූලාලංකාර ධර්මශාලාව විහාර භූමියේ ඉදි කොට ඇත.

    සියම් රට හෙවත් තායිලන්ත රජය සමඟ තවමත් නොබිඳුනු සවිමත් සබැඳියාවක් පවත්වන මෙම විහාරස්ථානය ආරම්භ කොට දෙසිය වසක් පිරීම නිමිති කොට ගෙන පවත්වනු ලබන සැමරුම් මාලාවේ ප්‍රථම වැඩසටහන හෙවත් තායි ශ්‍රී ලංකා මිත්‍රත්ව ප්‍රදර්ශනය 2023 දෙසැම්බර් මස 05 වන දින සිට 19 වන දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවර සුතිවරාම් විහාරය හා විද්‍යාලය (Wat Suthiwararam) මූලික කරගෙන පැවැත්වේ.

    එහි දී චූලාලංකාර මහරජතුමා ලංකාවේ වැඩ සිටිය රාජපූජිත ජාතික වීරවර බුලත්ගම ධම්මාලංකාර සිරිසුමනතිස්ස නාහිමියන් වහන්සේ ට පූජා කරන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ඇතුලුව එකළ එරට මොන්කුට් මහ රජු, සංඝරාජ හිමිවරුන් පුද කර අතිශයින් වටිනා පූජා භාණ්ඩ සහ සියම් සන්දේශ ද එරට ජනතාවට දැක ගැනීමට සහ වන්දනා පුදසත්කාර උදෙසා එරටින් ලද විශේෂ ආරාධනාව මත බැංකොක් නුවර වට්සුත්වරාම් රමණීය මහවෙහෙරේ තැන්පත් කෙරේ. තායිලන්තයෙන් මෙරටට තිලිණ ලෙස ලැබූ මේ පූජා වස්තුන් නැවත මෙසේ තායිලන්තයට වැඩම කරනු ලැබූයේ වසර 137 පසුව වීමේ විශේෂත්වයකි.

    මෙම විශේෂ අවස්ථාව සඳහා ගාල්ල පරමවිචිත්‍රානන්ද විහාරාධිපති, ශාස්ත්‍රපති අතිගෞරවාර්හ වලතර සෝභිත නාහිමි, පරමානන්ද රාජමහා විහාරාධිපති අතිගෞරවාර්හ මෙදේරිපිටියේ සෝමරතන නාහිමි, අතිගෞරවාර්හ ගාල්ලේ පියදස්සි හිමි ප්‍රධාන ගිහි දූත පිරිසක් ද සහභාගී විය.
    අද දින පැවැත්වෙන ප්‍රධාන උත්සවයෙන් අනතුරුව ‘ සියම් ලංකා සබඳතාවයේ අතීතය හා වර්තමාන’ නමින් විද්වත් කථිකාවතක් පැවැත්වෙන අතර ඒ සඳහා මහාචූලාලංකාරරාජවිද්‍යාල විශ්වවිද්‍යාලය ද සහසම්බන්ධ වේ.

    දෙසිය වසකට අධික කාලයක් සම්බුද්ධ ශාසනයේ උත්තුංග මෙහෙවර වෙනුවෙන් කැප වූ මහ යතිවරුන්ගේ ජීවන සුවඳ රැඳුනු, ශ්‍රී ලංකා – තායිලන්ත බෞද්ධ සබැඳියාව සිහිගන්වන මෙම ඓතිහාසික විහාරස්ථානය ජාතික උරුමයක් ⁣සේ මතු පරපුරට සුරැකීම අප සැමගේ වගකීමක් වනු ඇත.

    පරමානන්ද විහාරයේ චූලාලංකාර ධර්ම ශාලාව
    තායිලන්තයෙන් ලැබුනු සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රධාන පූජනීය වස්තු තැම්පත් කොට ඇති පරමානන්ද විහාරස්ථ කෞතුකාගාරය
    මහා සංඝරත්නය ප්‍රමුඛ දුත පිරිස තායිලන්ත ගුවන් තොටුපලේදී
    තායිලන්තය දී ප්‍රදර්ශනය කෙරෙන කෞතුක භාණ්ඩ
    රුවන් වින්ඩ්සර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.