fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උපන් දා සිටම ID අංකයත් ලැබෙන 'ඩිජිටල් උප්පැන්න' නිකුතුව ඇරඹෙයි

    උපන් දා සිටම ID අංකයත් ලැබෙන ‘ඩිජිටල් උප්පැන්න’ නිකුතුව ඇරඹෙයි

    ඉ-ජනගහනය ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කර තිබේ.

    ඒ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද(05) දින කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ය.

    කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ මෙම ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය ලබා දීමේ වැඩසටහන සෙසු දිස්ත්‍රික්ක සඳහා කඩිනමින් ව්‍යාප්ත කිරීම ආරම්භ කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය.

    ඩිජිටල් තාක්ෂණය සහිත ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙම ජාතික උප්පැන්න සහතිකයට ලබා දෙන අංකය ජාතික හැඳුනුම්පත් අංක බවට පරිවර්තනය වන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය.

    ඒ අනුව නිකුත් කළ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය පහත පරිදි වේ.

    ආකර්ෂණීය බව, නිවැරදි බව හා පිළිගැනීම වැඩි ආරක්ෂිත උපාංග ඇතුළත් මුද්‍රිත සහතිකයක් ලබාදීම ද අරමුණ කර ගෙන ඉ -ජනගහන ලේඛන වැඩසටහන ආරම්භ කරන ලදී.

    ඒ යටතේ නිකුත් කිරීමට නියමිත උප්පැන්න සහතිකය “ජාතික උප්පැන්න සහතිකය” ලෙසින් නම් කර ඇත.

    මෙම උප්පැන්න සහතිකයේ දරුවාට ඉදිරියේ දී ලබා දීමට නියමිත ජාතික හැඳුනුම්පත් අංකය “මගේ අංකය” ලෙසින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඇතුළත් කර ඇත.

    ඒ් අනුව දරුවකුට උපතේදීම අනන්‍යතා අංකයක් ලබා දීමට හැකියාව ලැබෙන අතර ඒ් තුළින් ජනගහණ ලේඛනයක් ගොඩ නැගීමට හැකියාව ලැබේ.

    ජාතික උප්පැන්න සහතිකයයේ ඇතුළත් වන තොරතුරු

    1. උපන් ස්ථානය පිළිබඳ තොරතුරු
    2. මගේ අංකය
    3. සම්පූර්ණ නම ( සිංහල/ ඉංග්‍රීසි හෝ දෙමළ / ඉංග්‍රීසි)
    4. පියාගේ ජාතික හැඳුනුම්පත් අංකය / නම/ ජාතිය / ජාතිකත්වය
    5. මවගේ ජාතික හැඳුනුම්පත් අංකය / නම/ ජාතිය / ජාතිකත්වය

    මෙලෙස නිකුත් කිරීමට නියමිත සහතිකයේ විශේෂ ලක්ෂණ

    • රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්සනින් නිකුත් වීම.
    • සහතිකයේ පුද්ගලයාගේ ජාතිය / ජාතිකත්වය ඇතුළත් වීම.
    • මව්පියන්ගේ විවාහක / අවිවාහක බව ඉවත් වීම.
    • මෙම උප්පැන්න සහතිකය සිංහල/ඉංග්‍රීසි හෝ දෙමළ/ඉංග්‍රීසි භාෂාවලින් නිකුත් කිරීම.
    • විශේෂ ආරක්ෂිත උපාංග යෙදූ සහතිකයක් නිකුත් කිරීම.
    • සහතිකයේ තොරතුරු සංශෝධනය කළ හොත් එකී නිවැරදි තොරතුරු පමණක් ඇතුළත් නව සහතිකයක් නිකුත් කිරීම.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.