පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සඳහා තාවකාලික සභාපතිවරයෙක් පත්කර ගැනීමේ හැකියාව පවතින බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
කථානායකවරයා අද (01) පාර්ලිමේන්තුවේදී පැවසුවේ කෝප් කමිටුව රැස් නොවීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක සහ දයාසිරි ජයසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කෝප් කමිටුව කැඳවා අද (01) හෝ හෙට (02) දිනය තුළ සාකච්ඡාවක් පවත්වා මෙම ගැටලුව අවසන් කරන බව කථානායකවරයා සඳහන් කළේය.
ස්ථාවර නියෝග අනුව කෝප් කමිටුවට සභාපතිවරු දෙදෙනෙකු පත් කළ නොහැකි බවද එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
කෝප් සභාපතිවරයා පත්කරගැනීමට හැකියාව ඇත්තේ ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙතය.
වත්මන් කෝප් කමිටු සභාපතිවරයා වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ය.
පසුගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී සභාපතිවරයාගේ ක්‍රියාකලාපය, ඔහුගේ පුත්‍රයා කමිටු කාමරයට පැමිණ සිටීම සහ ක්‍රිකට් ආයතනය හා පවතින සබැඳියාවක් පිළිබඳ අයවැය විවාදය අතරතුර මන්ත්‍රීවරු විසින් දැඩි විවේචනයට ලක්කළහ.
පසුව තාවකාලිකව කෝප් කමිටු රැස්වීම් අත්හිටුවූ අතර දැන් යළි එහි රැස්වීම් අරඹා තිබේ.
ක්‍රිකට් ආයතනයේ පරීක්ෂණ සභාපතිවරයා නොමැතිව සිදුකිරීමට පසුගියදා රැස්වූ පක්ෂ නායකයන් තීරණයක් ද ගෙන තිබුණි.
කෝප් සභාපතිවරයා පිළිබඳ ගැටලුව මතුව ඇත්තේ මෙවැනි පසුබිමක් තුළදී ය.