fbpx
තවත්
    මුල් පිටුවspecialචීන ජනපති අමෙරිකාවේදී මහඉහළින් පිළිගනියි -මාධ්‍ය ආවරණයට වෙනම ශාඛාවකුත්

    චීන ජනපති අමෙරිකාවේදී මහඉහළින් පිළිගනියි -මාධ්‍ය ආවරණයට වෙනම ශාඛාවකුත්

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇමරිකාවට ළඟා වෙයි.

    ෂී ජින් පිං ජනාධිපතිවරයා එරට වේලාවෙන් 14 වැනි දා සවස, විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ ගුවන්තොටුපළට ළඟා විය. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ ඇරයුමක් අනුව, චීන ජනාධිපතිවරයා සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ දී දෙරට රාජ්‍ය නායක හමුවකට එක්වීමට නියමිත ය.

    ඇමරිකාවේ පැවැත්වෙන APEC සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුවට ද චීන ජනාධිපතිවරයා එක්වනු ඇත.

    ඇමරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ගුවන්තොටුපළට පැමිණ චීන ජනපති මහත් හරසරින් පිළිගත්හ. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් Janet L. Yellen, කැලිෆෝනියා හි ආණ්ඩුකාර Gavin Newsom සහ චීනයේ ඇමරිකානු තානාපති R.Nicholas Burns යන මහත්ම මහත්මීහු ද ඒ අතර වූහ. චීන ජනපති පිළිගැනීම සඳහා ඇමරිකාවේ චීන තානාපති Xie Feng මහතා ද පැමිණ සිටියේය.

    ෂී ජින් පිං ජනාධිපතිවරයා ගුවන්තොටුපළේ සිට හෝටලයට පැමිණෙන මග දෙපස, එරට වෙසෙන චීන ජාතිකයෝ සහ ඇමරිකාවේ ඉගෙනුම ලබන චීන සිසුහු පෙළ ගැසී සිටියහ. ඔවුහු චීන හා ඇමරිකානු ජාතික ධජ ලෙලවමින් ෂී ජින් පිං ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත්හ.

    මේ අතර චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ අමෙරිකානු සංචාරය පිළිබඳ වාර්තාකරණ කටයුතු වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයේ මාධ්‍ය මධ්‍යස්ථානයක් සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර විවෘත කර ඇත.

    චීන මාධ්‍ය සමූහයේ බෙයිජිං මූලස්ථානය, උතුරු ඇමරිකානු මධ්‍යස්ථානය, එක්සත් ජාතීන්ගේ මධ්‍යස්ථානය සහ CGTN උතුරු ඇමරිකානු ශාඛාව නියෝජනය කරමින් වාර්තාකරුවෝ 180 කට අධික පිරිසක් ඊට එක් ව සිටිති.

    චීන මාධ්‍ය සමූහයේ ගුවන්විදුලි, රූපවාහිනී සහ නව මාධ්‍ය ඒකාබද්ධ සන්නිවේදන අවකාශයන් සහ භාෂා 68 ක සන්නිවේදන පහසුකම් මගින් එම වාර්තාකරණය ගෝලීය වශයෙන් පුළුල් ලෙස සිදුකෙරෙනු ඇත.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.