ප්‍රබල පාතාල අපරාධකරුවෙක් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙක් වන දෙමටගොඩ රුවන් නැමැති අයට අයත් දෙමටගොඩ වේළුවන පාරේ පිහිටි සුවිසල් නිවසට පෙට්රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පළාගොස් සිටි සැකකරුවෙකුව දෙමටගොඩ පොලීසියේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම බෝම්බ ප්‍රහාරය පසුගිය 12 වෙනිදා එල්ලකරනු ලැබුවේ ත්‍රීරෝද රථයකින් ගමන් කළ පුද්ගලයෙකු විසිනි. බෝම්බ ප්‍රහාරය එල්ලකල පුද්ගලයා ගමන් කළ ත්‍රීරෝද රථය ගමන්කර තිබුණේ බොරැල්ල දෙසටය.
ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව ත්‍රීරෝ රථයේ අංකය ඔස්සේ හඹා යමින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුඳුවත්ත ප්‍රදේශයේදී ඊයේ ය.
අත්අඩංගුවටගත් මෙම සැකකරු දෙමටගොඩ කොලොන්නාව පාරේ පදිංචි 37 හැවිරිදි වියේ පසුවන්නෙකි.
මෙම බෝම්බ ප්‍රහාරය එල්ලකරනු ලැබුවේ ඇයි දැයි පැහැදිලිව තොරතුරු අනාවරණය වී නැති බව පොලීසිය කියයි. දෙමටගොඩ රුවන් නැමැත්තා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව පොලීසිය කියයි. බූස්ස බන්ධනාගාරයේ ඔහුව රදවා සිටින බවත් දෙමටගොඩ චමින්ද නැමැති පාතාල අපරාධකරු ඔහුගේ සහෝදරයෙක් බවත් පොලීසිය කියයි. භාරත ලක්ෂමන් ඝාතනයට ඔහු මරණිය දණ්ඩනය ලබා සිටියි.
දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපොල නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් තහනම්කර ඇත. රුවන්ගේ පුතා ප්‍රධාන දේශපාලන පක්ෂයක බොරැල්ල ආසනයේ තරුණ මණ්ඩලයේ සභාපතිධූරයද දරන අතර එම පක්ෂයෙන් කොළඹ නගර සභා අපේක්ෂකයෙක් ලෙසද නාම යෝජනා භාරදී තිබුණි.