fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අර්ජුන ඇතුළු අලුත් ක්‍රිකට් කමිටුවට උසාවියෙන් වාරණයක්

    අර්ජුන ඇතුළු අලුත් ක්‍රිකට් කමිටුවට උසාවියෙන් වාරණයක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් එහි කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුවක් පත් කිරීමට අදාළව ඉදිරි දින 14ක් සඳහා අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝග නිකුත් කර තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝග කර ඇත.

    සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝග නිකුත් කර තිබේ.

    ඒ අනුව එක් අතුරු නියෝගයක් නිකුත් කර ඇත්තේ, ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක මණ්ඩලයක් පත්කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමිනි.

    දෙවැන්න, අලුතින් පත්කරන ලද අර්ජුන රණතුංග මහතාගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් අතුරු පාලන මණ්ඩලයේ සාමාජිකයින්ට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර ඇත.

    අනෙක් වාරණය වන්නේ, පෙත්සම්කරු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට ඔවුන්ගේ කටයුතු කිරීමට බාධා කිරීම වළක්වාලමිනි.

    එය ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කර තිබේ.

    මෙම අධිකරණ නියෝගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු කරමින් සිටි නව අන්තර් පාලක මණ්ඩලයේ සභාපති අර්ජුන රණතුංග මහතා කාර්යාලයෙන් පිටව ගොස් ඇත.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මෙලෙස මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා ඊයේ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද කැබිනට් අනුකමිටුව තවදුරටත් ක්‍රියාත්මක වේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.