ඩුබායි හී රැදි සිටින බ්ලූමැන්ඩල් සංඛ නැමැකති පාතාලයේ අපරාධකරු ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුමක් දෙමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා බියගන්වා රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබාගත් තිදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
රඹුක්කන කොටවැල්ලේ කළ වැටලීමකදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. රඹුක්කන පදිංචි දෙදෙනෙක් සහ කුරුණෑගල පදිංචි එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටී.
කප්පම් මුදල් ලබාගැනීමට මෙම සැකකරුවන් පැමිණි මෝටර් රථයද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සොයාගෙන ඇත. එම රථය කුළි පදනම මත ඔවුන් ලබාගත් එකකි.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට දුරකථන ඇමතුමක් දෙමින් බ්ලූ මැන්ඩල් සංඛ නමින් පෙනී සිටි සැකකරු පවසා ඇත්තේ ඔහුව ඝාතනය කිරීමට
රුපියල් ලක්ෂ 80ක කොන්ත්‍රාත්තුවක් තමාට ලැබී ඇති බවය.
එම ඝාතන කොන්ත්‍රාත්තුව ඉටු නොකර සිටීමට නම් තමාට රුපියල් ලක්ෂ 15ක් අවශ්‍ය බවත් එසේ නොමැති උවහොත් එම ඝාතන කොන්ත්‍රාත්තුව ඉටු කිරීමට සිදුවන බවත් එහිදී බ්ලූමැන්ඩල් සංඛ නමින් පෙනී සිටි පුද්ගලයා එහිදී පවසමින් ජනක රත්නායක මහතාව බිය ගන්වා ඇත.
ඒ ගැන බියටපත්වූ ජනක රත්නායක මහතා රුපියල් ලක්ෂ 15ක මුදල කිරුලපනේදී ලබාදී ඇති බවත් මෝටර් රථයකින් පැමිණි සැකකරුවන් එම මුදල රැගෙන තිබුණු බවත් පොලීසිය කියයි.
මෙම මුදල කප්පම්කරුවන්ට ලබාදී ඇත්තේ 16 වෙනිදාය. ඒ ගැන ඔහු කිරුලපන පොලීසියට පැමිණිලිකර ඇත්තේ ද එදිනමය.