fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිලියන භාගයක් වාහන හම්බන්තොටින් ප්‍රතිනැව්ගත කරලා

    මිලියන භාගයක් වාහන හම්බන්තොටින් ප්‍රතිනැව්ගත කරලා

    මෙම වසරේ සැප්තැම්බර් මස අවසන් වීමට පෙර RORO මෙහෙයුම් 500,000 ක් හසුරුවමින්, පසුගිය වසරේ වාහන ප්‍රතිනැව්ගත කිරීමේ වාර්තාව බිඳ දැමීමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) සමත් විය.

    හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පවසන්නේ, ගෝලීය ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වනවාත් සමගම වරායේ උපාය මාර්ගික පිහිටීම සහ සේවාවන් ජාත්‍යන්තරව ප්‍රවර්ධනය කිරීමේ කටයුතු දිගින් දිගටම කරගෙන යන බවයි. “හම්බන්තොට ජාත්‍යන්තර වරාය RORO ප්‍රතිනැව්ගත කිරීම සීඝ්‍රයෙන් වැඩිවීමත් සමග, වසරින් වසර අපගේ පරිමාවන් වැඩි කර ගැනීමට හැකි වුනා.” යැයි ඒ මහතා කීය.

    2022 වසර අවසන් වන විට දේශීය සහ ප්‍රතිනැව්ගත කිරීමේ හැසිරවීම් වෙනුවෙන් හම්බන්තොට ජාත්‍යන්තර වරාය ලබා ගත් මුළු පරිමාව 558200 ක් වූ අතර, RORO වාහන මිලියන බාගයක් හැසිරවීමේ වාර්තාව දිනා ගැනීමට හැකි වූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය. 2023 වසරේදී එම වාර්තාව බිඳ හෙළමින්, මිලියන භාගයේ සන්ධිස්ථානය 3 වන කාර්තුව අවසන් වීමට පෙර පසු කිරීමට වරායට හැකි විය.

    පසුගිය වසර 5 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හි RORO ව්‍යාපාරයේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ඇති අතර, මේ වන විට වාහන ප්‍රතිනැව්ගත කිරීම සඳහා ආකර්ශනීය ගමනාන්තයක් බවට වරාය පත්ව ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ හි වාණිජ හා අලෙවි කටයුතු පිළිබඳ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා පවසයි. “මෙයට විශේෂයෙන් හේතු වන්නේ නැව් සමාගම් විසින් බලාපොරොත්තු වන උසස් ඝනයේ කාර්යක්ෂම සහ විශ්වාසනීය සේවාවන් සැපයීමට හම්බන්තොට ජාත්‍යන්තර වරායහට ඇති හැකියාවයි. ගුණාත්මක සේවාවන් මෙන්ම හම්බන්තොට ජාත්‍යන්තර වරාය හි ප්‍රතිනැව්ගත කිරීමේ හැකියාව ‘ලෝකයේ හොඳම’ ප්‍රමිතීන්ට අනුකූල වන අතර වරායේ උපායමාර්ගික පිහිටීම RORO ව්‍යාපාරය සඳහා ඉතාමත් යෝග්‍යයි. එමෙන්ම පැසිෆික් සහ ඉන්දියානු සාගර දෙකටම වඩාත් පහසු ප්‍රතිනැව්ගත කිරීමේ ස්ථානය හම්බන්තොට වරාය වේ.” යැයිද ඔහු පැවසුවේය.

    මෙහෙයුම් ආරක්ෂාව සහ තත්ත්ව ප්‍රමිතීන්ට වරාය ප්‍රමුඛත්වය දෙන බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා තවදුරටත් පවසයි. ”RORO මෙහෙයුම් වලදී සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටීන් සහ ආරක්ෂිත නියමයන්ට අපගේ දැඩි අවධානය යොමු වනවා. හම්බන්තොට ජාත්‍යන්තර වරාය හි ආයතනික සහ මෙහෙයුම් වාතාවරණය, RORO ව්‍යාපාරයේ ශක්තිය සහ විශ්වසනීයත්වය සහතික කිරීමේ ලා වරාය තුළ ඇති කැපවීම මනාව පිළිබිඹු කරන්නක්. අපගේ විශේෂඥ මෙහෙයුම් කණ්ඩායම පවතින අහිතකර කාළගුණ තත්වය මධ්‍යයේ වරායට පැමිණි සන්ලයිට් ඒස් සහ සූ ෂින් යන යාත්‍රා හැසිරවූ ආකාරය එය සහතික කිරීමක්. එමෙන්ම, ආසියානු කලාපය ලොවට සම්බන්ධ කරන ලක්ෂ්‍යයද හම්බන්තොට වරායයි.’’ යැයිද තිස්ස වික්‍රමසිංහ මහතා පවසයි.

    මෙම වසරේ සැත්තැම්බර් මස දක්වා, නැව් සමාගම් 8 කින් යාත්‍රා 218 ක ප්‍රතිනැව්ගත කිරීම් වරාය විසින් හසුරුවා ඇති අතර, සැප්තැම්බර් මාසයේදී 75,608ක ඉහළතම පරිමාව වාර්තා කොට ඇත. මෙම සංඛ්‍යාව වාර්තා කර ඇත්තේ RORO යාත්‍රා 32 ක පැමිණීමෙන් බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහන් කරයි.

    2023 දී හම්බන්තොට ජාත්‍යන්තර වරාය විසින් ලබා ඇති RORO පරිමාවන්හි වර්ධනය පසුගිය වසරට සාපේක්ෂව 25% කි. පිළිවෙළින් 2391 ක සහ 3407 ක පරිමාවන් ගෙන එමින්, MOL නැව් සමාගමේ සන්ලයිට් ඒස් සහ ග්ලෝවිස් නැව් සමාගමේ සූ ෂින් යන නෞකාවන්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය හි ප්‍රතිනැව්ගත කිරීමේ මෙහෙයුම් 500,000 ක සැතපුම් කණුව සම්පූර්ණ කිරීමේ කර්තව්‍යට දායක වූ බවද හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.