fbpx
තවත්
    මුල් පිටුවspecialඕල් බැලැක්ස් රග්බි අවසන් සටනට

    ඕල් බැලැක්ස් රග්බි අවසන් සටනට

    ආජන්ටිනා කණ්ඩායමට එරෙහිව පළමු අවසන් පූර්ව තරගය 44-6ක් ලෙස වාර්තාගත ජයක් ලැබූ නවසීලන්ත රග්බි කණ්ඩායම (ඕල් බ්ලැක්ස්) ලබන සෙනසුරාදා පැවැත්වෙන රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගයට ශ්‍රී ලංකා වේලාවෙන් අද(21) අලුයම සුදුසුකම් ලබාගත්තේය.

    නවසීලන්තය 1987 තරගාවලියේ පටන් රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් පස්වැනි අවස්ථාව මෙය වෙයි. මෙයට පෙර සිවු වතාවක් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ නවසීලන්ත කණ්ඩායම ඉන් තරග තුනක් ජයග්‍රහණය කළේය.

    ප්‍රංශයේ ශාන්ත ඩෙනිස් ක්‍රීඩාපිටියේ ආජන්ටිනාව සමඟ ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම පැවැති තරගයේ දී පළමු අර්ධයේ දී ජෝඩාන්,ජෝඩි බැරට් සහ ෂැනොන් ෆ්‍රිසෙල් උත්සාහක දිනුම් වාර්තා කරමින් නවසීලන්තය ප්‍රබල තැනකට පත් කළ අතර තරගය අවසන්වනවිට ජෝඩාන්ට උත්සාහක දිනුම් 3ක්.ෆ්‍රිසෙල් උත්සාහක දිනුම් දෙකක් හා ජෝඩි බැරට් හා ඇරොන් ස්මිත් එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කළහ‍.

    මෙම තරගය වාර්තා පොත්වලට එක්වූයේ ලෝක කුසලාන අවසන් පූර්ව තරගයක දී ලැබූ දෙවැනි විශාලම ජයග්‍රහණය ලෙස වීම විශේෂත්වයකි. එය දෙවැනි වූයේ 1987දි නවසීලන්තයම 49-6ක් ලෙස වේල්ස් රාජ්‍යය පරාජයට පත්කළ තරගයට පමණි.

    මේ අතර ලෝක කුසලාන රග්බි තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද රාත්‍රියේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙයි. එම තරගයත් ශාන්ත ඩෙනිස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යම රාත්‍රි 12.30ට ආරම්භ වේ.

    2019 දි පැවැති අවසන් ලෝක කුසලාන තරගාවලිය ජයගත් දකුණු අප්‍රිකාව මෙම තරගයේ දී ජයග්‍රහණය සොයා යනවාට කිසිඳු සැකයක් නොමැති අතර එවර අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකාවට පරාජය වෙමින් කිරුළ අහිමි කරගත් එංගලන්තය මෙවර එම වාඩුව ගැනීමට සැදී පැහැදී කටයුතු කරනවාට සැක නැත.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.