fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාර්ලිමේන්තුවේදී රාජ්‍ය ඇමතිනි ඩයනාට සජබ මන්ත්‍රීවරයෙකුගෙන් ප්‍රහාරයක්

    පාර්ලිමේන්තුවේදී රාජ්‍ය ඇමතිනි ඩයනාට සජබ මන්ත්‍රීවරයෙකුගෙන් ප්‍රහාරයක්

    රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටතදී සමගි ජලබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය මහතා පහරදුන් බවට ඇය විසින් මැතිසබේදී චෝදනා එල්ලකිරීමෙන් පසු පාර්ලිමේන්තු සැසිවාරය විනාඩි 10කට අත්හිටුවා ති‍බේ.

    මෙරට පාර්ලිමේන්තු ඉතිහාසය තුළ කෙදිනකවත් මෙවැනි සිදුවීමක් සිදුවී නොමැති බැවින්, මෙම බරපතළ චෝදනාව පිළිබඳ කථානායකවරයාගේ කාර්යාලය තුළදී කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවට ලබාදීමට පාර්ලිමේන්තුව කල්තබන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී කීය.

    පාර්ලිමේන්තුව කල්තැබුණේ ඉන් අනතුරුවයි.

    සිද්ධිය පිළිබඳ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය මෙලෙස පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළේය.

    “ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පුස්තකාලය පල්ලෙහා මන්ත්‍රීවරුන්ගේ ලිෆ්ට් එක ළඟදි මට කාන්තා හිංසනයක් වුණා. සුජිත් පෙරේරා කියන සජබ මන්ත්‍රීවරයා විසින් මට පහර දීමකට ලක් කලා. මේ පල්ලෙහා දැන් ලයිබ්‍රි එකේ දි. දැන් පැය එකහමාරකට දෙකකට විතර කලින්. මේක ගැන මට පරීක්ෂණයක් ගරු කථානායකතුමාගෙන් අවශ්‍යයි. මේ මන්ත්‍රීවරයාට විරුද්ධව මම පියවර ගන්නවා. මේ සජබෙ ඉන්න මන්ත්‍රීවරුන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කාන්තාවෝ එක්ක. තමුන්ගෙ බිරිඳටත් පහරදෙන මිනිහෙක් සුජිත් කියන්නෙ. එතුමා… මම එතුමා කියලා කියන්නේ නෑ මේ සක්කිලි කාලකන්නි වගේ මිනිස්සු තමයි මෙහෙම හැසිරෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට පහරදෙන්න පුලුවන් නම් මොන කාන්තවො ගැන ද මේ සජබෙ ඉන්න මේ මන්ත්‍රීවරු කතා කරන්නේ? මේක ඇතුලේ, කාන්තා මන්ත්‍රීවරියකට, රාජ්‍ය ඇමතිවරියකට පහර දෙනවානම් මෙහි පාර්ලිමේන්තුව තුළ මොන කතාද මේ සජබෙ ඉන්න මන්ත්‍රීවරු ගැන? මට දැනගන්න ඕන, මේක ගැන අනිවාර්යෙන්ම පරීක්ෂණයක් පවත්වන්න ඕන ගරු කථානායකතුමා. මම ඉල්ලා සිටිනවා ගරු කථානායකතුමාගේ ඒක කරන්න කියලා. මේ රටේ ජනතාව මේ රටේ කාන්තාවෝ ලෑස්ති වෙන්න මොකද මම මේකට විරුද්ධව පාරට බහිනවා. මේක කරන්න මම ඉඩ දෙන්නෑ මේ පාර්ලිමේන්තුව තුළ නැවත නැවතත්.”

    මෙහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නැගී සිටිමින් කියා සිටියේ, “මේ කියන බරපතළ කරුණු ගැන මා ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුව විනාඩි දහයකට අත්හිටුවලා කරුණු කියන්න අවස්ථාව දෙන ලෙස. මෙය කවදාවත් සිදු නොවුණු බරපතළ තත්ත්වයක්.” යනුවෙනි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.