තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ණය බරින් පෙළෙන රටවල් ගැන දැන් IMF එකටත් විසඳුමක් නෑ" -ජනපති

    “ණය බරින් පෙළෙන රටවල් ගැන දැන් IMF එකටත් විසඳුමක් නෑ” -ජනපති

    සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් අද විශාල ණය බරකින් පෙළෙන අතර මෙම නව තත්ත්වයට මුහුණදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුව ද යාන්ත්‍රණයක් නැතැයි ජර්මනියේ බර්ලින් ගෝලීය සංවාදයේ සමාරම්භක දේශනය අද(28) අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    සමාරම්භක දේශනය කරමින් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

    “පළමුවෙන්ම මේ සඳහා සම්බන්ධවීමට මට අරාධනා කළ බර්ලින් ගෝලීය සංවාදයේ සභාපති මහාචාර්ය රෝව්ලෙට් මහතාට මම ස්තූතිවන්ත වෙනවා. මම දකින විදිහට පසුගිය දශක දෙක පුරාවටම ගෝලීය ආර්ථිකය බොහෝ අභියෝගවලට ලක්වී තිබෙනවා. 2008 දී යුරෝපීය ණය අර්බුදයට මුහුණ දීමට සිදුවුණා. ඉන් පසුව අපිට COVID-19 වසංගතය සහ එයින් ඇති වූ ආර්ථික අභියෝග, දේශගුණික විපර්යාස සඳහා අරමුදල් සොයා ගැනීමේ ගැටලුව සහ ස්වෛරී ණය අර්බුදය වැනි ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබෙනවා.

    නූතන ඉතිහාසයේ වෙනත් කිසිදු යුගයක මෙවැනි අර්බුදයකට අපට මුහුණ දීමට සිදුවී නැහැ. මෙම සෑම අවස්ථාවකදීම, දරුණු ලෙස පීඩාවට පත්ව ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සහ ගෝලීය දකුණේ රටවලුයි. දියුණු ආර්ථිකයන් තුළ දැඩි ලෙස උද්ධමනය ඉහළ යාම, තෙල් මිල බැරලයක මිල ඩොලර් 100 දක්වා ඉහළ යාම සහ ගෝලීය මහ බැංකු විසින් සිදු කෙරෙන මුල්‍යමය සිර කිරීමකට අප දැන් මුහුණ දී සිටිනවා. ශ්‍රී ලංකාව යුරෝපයට සිදු කරන අපනයන, මේ වසරේ මේ දක්වා කිසිදු වැඩිවීමක් සිදුවී නොතිබීම එක් උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකියි.
    සංවර්ධනය වෙමින් පවතින බොහේ රටවල් බරපතල අර්බුදයකට මුහුණ දී තිබෙන බව මේ අනුව පෙනී යනවා. ගෝලීය දකුණේ රටවල් ලෙස අප, ඉහළ යන ආනයන වියදම්, ආහාර, බලශක්ති, අනාරක්ෂිතභාවය සහ අපනයන යන ක්ෂේත්‍ර වල ගැටලුවලට මුහුණ දෙමින් සිටිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ගෙවුම් ශේෂ නිසා මුහුණදීමට සිදුවන ආතතිය, අප සියලු රටවල් දුර්වල ආර්ථිකයන් බවට පරිවර්තනය කරනවා.

    දියුණු ආර්ථිකයන් පවතින රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වෙනස වන්නේ, මෙවැනි ආර්ථික අභියෝග සමඟ කටයුතු කිරීමට දියුණු රටවල් සියලු ආකාරයේ ස්වආරක්ෂක විධි සහ මූල්‍ය සංචිත පවත්වාගෙන යාමයි. නමුත් අපට එවැනි සංචිත නැහැ. ස්වෛරීත්ව ණය අර්බුදය ආරම්භ වූයේ මෙතැන් සිටයි. මේ තත්ත්වය හමුවේ, වහාම ආර්ථිකය නිවැරදි මාවතකට යොමු කිරීමට අවශ්‍ය පියවර නොගතහොත් ලෝකය තවත් අර්බුදයක පැටලිය හැකියි.

    සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් අද විශාල ණය බරකින් පෙළෙනවා.උදාහරණයක් ලෙස, මෙම නව තත්ත්වයට මුහුණ දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුව ද යාන්ත්‍රණයක් නැහැ. ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කළ අවස්ථාවේදී අපට ලැබෙන විදේශ අරමුදල් සියල්ල නතර වුණා. එය රටතුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය කළා.

    ශ්‍රී ලංකාවට මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ලෝක බැංකුව සිදු කළ උපකාර සහ මගේ පැරණි මිතුරිය සමන්තා පවර් මහත්මිය අපට පොහොර ලබාගැනීම සඳහා කළ උපකාරය නොවන්නට මට අද මෙහි පැමිණීමට හැකිවන්නේ නැහැ. මොකද එම උපකාරය නොලැබුණා නම් අද මම මෙම තනතුරේ නොසිටින්නට ඉඩ තිබුණා.

    මෙය ඉතා අයහපත් තත්ත්වයක් බව කිව යුතුයි. බංකොලොත්භාවය ප්‍රකාශ කරන ඕනෑම රටකට උපකාර කළ හැකි විධිමත් ක්‍රමවේදයක් නැහැ. නමුත් මෙම අවස්ථාවේ දී, විශේෂයෙන්, හරිත දේශගුණික අරමුදලේ විශාලතම දායකත්වය දරන රට ලෙස ජර්මනිය සිය කාර්යභාරය ඉටු කිරීම පිළිබඳ මම සතුටු වෙනවා.

    දේශගුණික විපර්යාස අවම කර ගැනීම සහ ණය ප්‍රශස්තරකරණය යන කරුණු දෙකම අපට මුහුණ දීමට තිබෙන අභියෝග වන අතර, ඒ සඳහා අප සතුව පවතින අරමුදල් අවම ලෙස භාවිතා කිරීමට සිදුව තිබෙනවා. අප සතුව ඇති අරමුදල්, අපට මෙම අභියෝගවලට මුහුණදීම සඳහා ප්‍රමාණවත් නොවීම කණගාටුවට කරුණක් බව කිවයුතුයි.

    නමුත් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) බිලියන 100ක් තිබෙනවා. කිසි දෙයක් නැහැ කියනවට වඩා එම බිලියන 100 න් අපේ වැඩකටයුතු ආරම්භ කළ යුතුයි. ඒ වගේම ඉතිරි කොටස ලබා ගැනීම පිළිබඳව ද අප කටයුතු කළයුතුයි.

    මොකද ශ්‍රී ලංකාව පිළිබඳ කතා කරන විට අප්‍රිකානු මහද්වීපයේ අඩු ආදායම්ලාභී රටවල අවශ්‍යතා අපට වඩා බෙහෙවින් වැඩි බව පැවසිය යුතුයි. මෙම ස්ථානයේ ප්‍රමාණවත් නියෝජනයක් සිදු වන නිසා අප්‍රිකානු මහද්වීපය මුහුණ දෙන ගැටලු මා විස්තර කළ යුතු නැහැ කියා මම හිතනවා.
    සංවර්ධනය වෙමින් පවතින රටවලට එම රටවල් විසින් ජාතික වශයෙන් ඉලක්කගත කර ඇති දායකත්වයන් සපුරාලීම සඳහා ඩොලර් ට්‍රිලියන 5.9 දක්වා මුදල් අවශ්‍ය වෙනවා. ඒ වගේම ශුද්ධ ශුන්‍ය විමෝචනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා හරිත බලශක්ති තාක්ෂණය වෙනුවෙන් තවත් ඩොලර් ට්‍රිලියන 4ක් අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම සාර්ථක කර ගැනීම සඳහා අපට පවතින මූල්‍ය අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කළයුතුයි.

    2030 වන විට ඒ සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 26.5ක් අවශ්‍යයි. අපි බංකොලොත් රටක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන ආකාරයට අපි වාසනාවන්ත නම්, ඉදිරි වසර කිහිපය තුළ අපට 3.5% ක ආර්ථික වර්ධන වේගයක් ලැබෙනු ඇතැයි මම කියා විශ්වාස කරනවා.
    ඒ වගේම මෙම අභියෝග ජය ගැනීමේ දී ගෝලීය වශයෙන් දැනට පවතින සම්බන්ධීකරණය සහ නායකත්වය මෙම ගැටලුව කඩිනමින් විසඳීම සඳහා ප්‍රමාණවත් නැහැ. අපට මෙහිදි අලුත් සැලැස්මක් අවශ්‍ය වෙනවා.”

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img