fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙහෙණි සස්න පිහිටුවූ බිනර පොහොය අදයි

    මෙහෙණි සස්න පිහිටුවූ බිනර පොහොය අදයි

    බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.

    උතුම් වූ මෙහෙණි සසුනේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදුවීම සුවිශේෂී සිදුවීමකි.

    තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත් බුදුපියාණන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමත් අද වැනි බිනර පොහොය දිනයක සිදු වී ඇත.

    මෙහෙණි සස්නේ ආරම්භය පිළිබඳ බෞද්ධ පතපොතෙහි මෙලෙස සඳහන් වේ.

    බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුරයෙහි වූ නිග්‍රොධාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි මහාප්‍රජාපතී ගෞතමී තොමෝ උන්වහන්සේ වෙත අවුත් වැඳ එකත් පසෙක සිට අනගාරික ශාසනයෙහි පැවිද්ද මාගමුන් හට ඉල්ලා සිටියා ය. බුදුරජාණන් වහන්සේ ගෝතමියගේ ඉල්ලීම පළමු දෙවැනි තුන්වැනි වරටත් ප්‍රතික්ෂේප කළහ. ඉක්බිති බුදුරදුන් කිඹුල්වත් නුවරින් නික්ම විශාලා මහනුවර කූටාගාර ශාලාව වෙත වැඩි සේක. මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ රෝහිණී නදී තිරයෙහි දී පැවිදි වූ කුමරුවන් ගේ භාර්‍ය්‍යාවන් පන්සිය දෙනා සමග කෙස් කපා කසාවත් හැඳ කිඹුල්වත් නුවරින් පිටත් ව යොදුන් පනස් එකක් පමණ වූ දීර්ඝ මාර්‍ගය පා ගමනින් ම ගෙවා කූටාගාර ශාලාව වෙත පැමිණියා ය. ආනන්ද හිමියන් හට කරුණු කියා උන්වහන්සේ ගේ මාර්‍ගයෙන් කාන්තාවන් හට සසුන් පැවිද්ද ලබා‍දෙන ලෙස ඉල්ලා සිටියා ය. ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මහාප්‍රජාපතී ගෞතමී තොමෝ පන්සියයක් බිසෝවරුන් පිරිවරා මෙහි පැමිණ බුදුරදුන් වහන්සේ ස්ත්‍රීන්ට පැවිද්ද‍ෙ නො දත්’යි අඬ අඬා දොරටුව සමීපයෙහි සිටින්නී ය. ස්වාමීනි, ස්ත්‍රීහු බුද්ධ ශාසනයෙහි අනගාරික වූ පැවිද්ද ලබත් නම් මැනවැ”යි අයැද සිටියහ. බුදුහු ආනන්ද හිමියන්ගේ ඉල්ලීම තෙවරක් ම ප්‍රතික්‍ෂෙප කළ හ. පසුව ආනන්ද හිමියන් ගේ බලවත් උත්සාහය නිසා කරුණු කියා මහා ප්‍රජාපතී ගෞතමී‍ය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත විය. “ආනන්දය, ඉදින් මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ පැවිදි වනු කැමැත්තී නම් පෙර බුදුවරයන් ගේ ශ්‍රාවිකාවන් විසින් පිරූ අෂ්ට ගරු ධර්‍මයන් ඇය විසින් ද පිළිගත යුතු ය. එයම ඇයට පැවිද්ද හා උපසම්පදාව වන්නේ ය.

    ගරු ධර්‍ම අට

    • උපසම්පත්තියෙන් වස් සියයක් වූ මෙහෙණක විසින් වුව ද එදින ම උප සපන් වූ භික්ෂූහු දැකත් වැඳීම් ආදී ගෞරව දැක්විය යුතු ය.
    • භික්ෂූන් නො මැති ප්‍රදේශයක් හි මෙහෙණක විසින් වස් නො වැසිය යුතු ය.
    • අඩ මසක් පාසා මෙහෙණක විසින් භික්ෂූ සංඝයා ගෙන් පොහොය විචාළ යුතු යි. අවවාද දීමට පැමිණීම ද බලා පොරොත්තු විය යුතු ය.
    • වස් අවසානයෙහි දී භික්‍ෂු භික්‍ෂුණී යන උභතො සංඝයා ඉදිරියේ පවාරණය කටයුතු යි.
    • ගරු ඇවැතකට පැමිණි මෙහෙණක විසින් උභතො සංඝයා කෙරෙහි අඩ මසක් මානත පිරිය යුතු යි.
    • අවුරුද්දෙන් පුහුණු වෙමින් ශික්ෂමානාවක් ව සිට පසුව උභතො සංඝයාගෙන් උපසම්පදාව ලැබිය යුතු යි.
    • කවර කාරණයක් නිසා හෝ මෙහෙණක විසින් භික්‍ෂු කෙනෙකු හට අක්‍රොෂ පරිභව නො කටයුතු යි.
    • මෙහෙණියන් විසින් භික්‍ෂුන් හට අවවාද නො කටයුතු ය. භික්‍ෂූන් විසින් භික්‍ෂුණීන්ට අවවාද කටයුතු ය.

    ආනන්ද හිමියෝ මේ ගරු ධර්‍ම අට බුදුරදුන් ගෙන් උගෙන මහා ප්‍රජාපතී ගෞතමිය වෙත එළඹ ගරු ධර්‍මයන් විස්තර කොට කියා “ඉදින් ඔබ මේ ගරු ධර්‍මයන් පිළිගන්නෙහි නම් එය ම ඔබට පිමිදි උපසම්පදාව වන්නේ යැ”යි ද කීහ. එබසට ගෝතමිය සකල ශරීරය ලොමු දහ ගන්වමින් පස්වනක් ප්‍රීතියෙන් පිනා බුදුරදුන් දිශාවට දොහොත් මුදුන් දී සිට “ආනන්ද ස්වාමීනි, යම් සේ අලංකාරයට කැමැති තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ජලස්නානය කොට, සමන් මල් දමක් ලදින් දෙ අතින් පිළිගෙන සන්තෝෂයෙන් සිරසෙහි තබා ගනී ද, එසේ ම මම භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ධර්‍මයන් අට දෙන පිළිගනිමි” යි තුන්වරක් කීවා ය. ඒ වචනය සමග ම මහා ප්‍රජාපතී ගෞතමිය ගේ මහණ කම විය. උපසම්පදා ශීලය ද විය. බුදුරජාණන් වහන්සේ ගේ නියමය පරිදි පන්සියයක් ක්‍ෂත්‍රිය කුමාරිකාවෝ ද භික්ෂු සංඝයාගෙන් උපසම්පදාව ලැබූහ. මෙසේ මෙහෙණ සස්නේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදු විය

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.