තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"අපට සංස්කෘතික වෙනසක් ඕනෑ" -ජනපති

    “අපට සංස්කෘතික වෙනසක් ඕනෑ” -ජනපති

    ශ්‍රී ලංකාවට සිදුකිරීමට තිබෙන බොහෝ දේ වෙනුවෙන් සංස්කෘතිකමය වෙනසක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ හිල්ටන් හෝටලයේ දී අද (26) පැවති 2023 වාණිජ බේරුම්කරණ සම්මන්ත්‍රණය අමතමිති.

    එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය,

    “විකල්ප ආරවුල් විසඳීම සහ බේරුම්කරණය කියන මෙම අංශ දෙක තුළම ශ්‍රී ලංකාවට බොහෝ දේ සිදු කිරීමට තිබෙනවා වගේම එය අපට දැනටමත් පවතින ගැටළුවක්. අප මුලින්ම මෙම ක්‍රියාවලියට හැඩ ගැසෙන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතු වෙනවා.

    ඒ සඳහා අපට සංස්කෘතිකමය වෙනසක් අවශ්‍යයි. කෙටිම කාලයක් තුළ ආරවුල් විසඳා ගත හැකි වන ආකාරයට එම සංස්කෘතික වෙනස සිදු විය යුතුයි. ඒ කියන්නේ අප එක්තරා ආකාරයකට පරණ උසාවිය කියන සංකල්පයට බැඳී සිටිනවා. කෙසේ වෙතත්, මෙය අපට මුහුණ දිය යුතු එක් අභියෝගයක්.

    අපි ශ්‍රී ලංකාව ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි. පළමුවැන්න නම් වරාය නගරය අක්වෙරළ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සහිත ව “කොළඹ මූල්‍ය කලාපය” බවට පත් කිරීම සඳහා වන නව නීති සම්පාදනයයි. ඒ සඳහා අවශ්‍ය නව නීතිය කෙටුම්පත් කෙරෙමින් පවතිනවා. ඒ වගේම මෙම වසර අවසන් වීමට පෙර අපි එම කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. දෙවැන්න තමයි, ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය වෙනුවට ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීම. ආරවුල් නිරාකරණය කිරීම ද සඳහා කටයුතු කරනු ලබන්නේ ද එම කොමිෂන් සභාවයි.

    අපි නිදහස් වෙළෙඳ ගිවිසුම් කිහිපයකට එළැඹෙනවා. සිංගප්පූරුව සහ තායිලන්තය සමඟ ගිවිසුම්ගත වීම සම්බන්ධ සාකච්ඡා අවසන් කිරීමට අපි සූදානම්. වැඩි දියුණු කරන ලද ගිවිසුමක් වෙනුවෙන් අපි ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. බංගලාදේශය සමගත් අපි සාකච්ඡා පවත්වනවා. ඊටත් වඩා, අපි කළාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්වය (RCEP) සඳහා ඇතුළත් වීමට අපේක්ෂාවෙන් සිටිනවා. ලෝකයේ සිටින විශාලතම වෙළඳ ප්‍රජාව එහි සිටිනවා. ඒ නිසා අපට විකල්ප ආරවුල් විසඳීම කොතරම් වැදගත් ද යන්න මෙයින් අවබෝධ වෙනවා.

    ඒ වගේම අප ශ්‍රී ලංකාව ආර්ථික කේන්ද්‍රස්ථානයක් බව සහතික කළ යුතුයි. අප උත්සාහ කළයුත්තේ ශ්‍රී ලංකාව තුළ සිංගප්පූරුවේ වැනි සංවර්ධනයක් ඇති කිරීමටයි. එහිදී අපේ පිරිවැය සිංගප්පූරුවට සාපේක්ෂව අඩු විය යුතුයි. එවිට අපට පමණක් සිංගප්පූරුව සමඟ තරඟ කළ හැකියි. නමුත් එය අත්‍යවශ්‍ය වන්නේ ලෝකයේ මෙම කොටසෙහි රික්තයක් පවතින නිසයි. අපි අපේ ගමනේ වේගය වැඩි කළහොත්, අපට ඒ රික්තය ඉක්මනින් පිරවිය හැකියි.

    දෙවනුව, අපගේ සියලුම නීතීඥයින් සහ අධිකරණ සේවාවල නිරත පුද්ගලයින් එම වෘත්තියෙන් පිටත පිළිබඳ අවධානය යොමු කළයුතුයි. ශ්‍රී ලංකාව ඔබට තිබෙන එකම වෙළඳපොල නොවේ. ශ්‍රී ලංකාවෙන් පිටත ඔබට විශාල වෙළෙඳපොළක් තිබෙනවා. මේ ක්ෂේත්‍රයට විතරක් නෙවෙයි අලුත් ක්ෂේත්‍ර කෙරෙහිත් ඔබ අවධානය යොමු කළ යුතු වෙනවා.”

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img