දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරුවෙකු යකඩ සිල්බරයක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පන්නමින් සිටියදී ඔහු දුම්රියකට ගෙල තබා සියදිවි හානිකරගෙන ඇත.
මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ ගම්පොල කහටපිටිය දුම්රිය නිවාස වල පදිංචිකරුවෙක් වන බණ්ඩාර කාන්ගර (46) නැමැති දුම්රිය කම්කරුවෙකි.
ගම්පොල පොලීසියේ උප පොලිස් පරීක්ෂක උපාලි හේරත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කීරපනේ දුම්රිය හරස් මාර්ග අසල රාජකාරියේ නිරතව සිටියදී ඊයේ (19) අලුයම ත්‍රීරෝද රථයක් නතරකර පරීක්ෂාකර ඇත්තේ සාමාන්‍ය සෝදිසියක් ලෙසිනි. එම ත්‍රීරෝද රථයේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් යකඩ සිල්බර කොටයක්ද තිබී ඇත. පොලීසිය ත්‍රීරෝද රථය නවතා පරීක්ෂා කරන විට එකවරම ත්‍රීරෝද රථයේ පිටුපස ගමන්කරමින් සිටි පුද්ගලයා ත්‍රීරෝද රථයෙන් බැස දිවගොස් තිබේ.
ඒ ගැන සැක සිතූ පොලීසිය ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ත්‍රීරෝද රථය යකඩ සිල්බරය සමඟ පොලිස් භාරයට ගෙන ඇත. එම ත්‍රීරෝද රථ රියදුරු ගම්පොල හපුගස්පිටියේ පදිංචි 44ක් වයසැති අයෙකි.
ත්‍රීරෝද රථයෙන් පැන පළාගිය පුද්ගලයාව පොලීසිය සොයා විමර්ශන පවත්වන විට එම පුද්ගලයාගේ සිරුර උඩෝවිට වැලිගල්ල ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ තිබී හමුවී ඇත. ගෙල තිබී ඇත්තේ කදින් වෙන්වය. විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ඔහු දුම්රියට ගෙල තබා සියදිවි හානිකර ගැනීමක් බව ගම්පොල පොලීසිය කියයි.
ගම්පොල පොලිස් ස්ථානයේ සිට මාතලේ බලා ධාවනය වූ දුම්රියට ඔහු එසේ ගෙල තබා ඇති බව ද අනාවරණය වී තිබේ.
මෙම කම්කරුවා මෙසේ දුම්රියට ගෙල තබා ඇත්තේ සිල්බර සොරකමට පොලීසියට හසුවෙතැයි බියෙන් විය හැකි බව පොලීසිය කියයි.