එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (OHCHR) ශ්‍රී ලංකාව පිළිබඳ 51/1 යෝජනාවට අනුව එහි මහකොමසාරිස්ගේ වාර්තාවේ දැක්වෙන, ඉලක්කගත සම්බාධක පිළිබඳ යොමුකිරීම් ඇතුළුව, සියලුම නිගමන සහ නිර්දේශ ශ්‍රී ලංකාව ඊයේ ප්‍රතික්ෂේප කර තිබේ.
මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකා රජයේ ස්ථාවරත්වය පිළිබඳ කවුන්සිලය වෙත මෙලෙස කරුණු දැක්වුයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය විසිනි.
වාර්තාවේ සියලුම නිගමන සහ නිර්දේශ ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන්නේ ඒවා ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට සහ විශ්වීයත්වය, අපක්ෂපාතීත්වය, වාස්තවිකත්වය සහ තෝරා නොගැනීම යන මූලධර්මවලට පටහැනි, ‘වැරදි සහ තහවුරු නොකළ මූලාශ්‍ර’ මත පදනම් වූ බැවින් බව ශ්‍රී ලංකා නියෝජිතවරිය එහිදී පෙන්වා දුන්නාය.
එම වාර්තාවේ අන්තර්ගතය ශ්‍රී ලංකාවේ බිම්මට්ටමේ සැබෑ තත්ත්වය පිළිබිඹු නොකරන බව ඇය එහිදී අවධාරණය කළාය.
පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ආර්ථික, සමාජීය සහ මූල්‍ය ස්ථාවරත්වය දේශීය හා බාහිර වශයෙන් ඇගයීමට හා පිළිගැනීමට ලක්ව ඇත.
ආර්ථික හා මූල්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය සහ විශේෂඥ දැනුම ඇති අය රටේ අපේක්ෂාවන් ගැන විශ්වාසයෙන් සිටින අතරම OHCHR ද පසුගිය වසරේ පෙන්නුම් කළ රටේ සහ මෙරට ආයතනවල ප්‍රජාතන්ත්‍රවාදී ඔරොත්තු දීමේ හැකියාව නොසලකා හැරීමට තෝරාගෙන තිබීම කණගාටුවට කරුණක් බව ද ඇය පෙන්වා දුන්නාය.
ඕනෑම ස්වෛරී රටකට අත්‍යවශ්‍යයෙන්ම දේශීය සහ මෙම කවුන්සිලයේ රාමුවෙන් බැහැර වන ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීම් ප්‍රකාශ කිරීම පිළිබඳ ශ්‍රී ලංකාව දැඩි ලෙස විරුද්ධ වන බව ද ඇය මෙහිදී අවධාරණය කළාය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී ඊයේ(11) ආරම්භ වූ 54 වැනි නිත්‍ය සැසිවාරය, ලබන ඔක්තෝබර් 13 දක්වා පැවැත්වේ.