ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් දෙදෙනකු මියයාමට හේතුව සම්බන්ධයෙන් කරන ලද මූලික විමර්ශනවලින් පෙනීයන්නේ මෙනින්ගොකොල් (Meningococcal) බැක්ටීරියාව හේතුවෙන් ඇතිවූ ආසාදනයක් බව යැයි වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.
මෙම සිදුවීමෙන් පසු ඒ පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසිනි සිදුකරනු ලැබීමෙන් අනතුරුව මේ බව අනාවරණය වී තිබේ.
එහිදී එහි රෝගීන්ගේ පටල, රුධිර, මොළයේ වතුර යනාදී සාම්පල දීර්ඝ වශයෙන් පරීක්ෂාවට ලක්කර ඇති බව වෛද්‍යවරයා කියයි.
එම වෛද්‍ය කණ්ඩායමේ නිර්දේශයට අනුව ගාල්ල බන්ධනාගාරයේ සියලුම රැඳවුවන්ට සහ එහි කාර්ය මණ්ඩලයට යම් ඖෂධයක් ලබාදීමට නිර්දේශ කර තිබේ.
බන්ධනාගාරය තුළ තවත් අසනීප තත්තවයේ පසුවූ රෝගීන් වහාම රෝහල්ගත කිරීමටත් මෙම වෛද්‍ය කණ්ඩායම උපදෙස් දී ඇත. ඔවුන් මේ වනවිටත් රෝහල්ගත කර ඇත.
උණ, හමේ ලෙඩ යනාදි රෝග ලක්ෂණ ඇතිවුවහොත් වහාම ඔවුන් රෝහල්ගත කිරීමට ද බන්ධනාගාර බලධාරීන් වෙත උපදෙස් දී තිබේ.
මෙම බැක්ටීරියාව බන්ධනාගාරය තුළට ගියේ කෙසේදැයි සෙවීමට වෙනම පරීක්ෂණයක් දැන් ආරම්භ කර තිබේ.
ගාල්ල බන්ධනාගාරයේ වයස අවුරුදු 24ක පමණ රැඳවියකු ලෙස සිට ඉන් පිටව ගොස් සතියකට පමණ පසුව කරාපිටිය රෝහලට අසනීප තත්ත්වයෙන් ඇතුළත්ව පසුව මියගිය බවත් එම පුද්ගලයාගෙන් මෙම බැක්ටීරියාව බන්ධනාගාරය තුළට ගියේදැයි සොයාබලන බවත් වෛද්‍ය ජී. විජේසූරිය මහතා කීය.
ඒ අනුව එම තරුණයාගේ නිවසේ අයත් ඔහු ඇසුරු කළ අයත් පරීක්ෂා කිරීමට වෛද්‍ය කණ්ඩායම තීරණය කර තිබේ.
කෙසේහෝ මෙම බැක්ටීරියාව පිටත සමාජයට පැතිර යාම වළකාලීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට කටයුතු කරන බව ද වෛද්‍යවරයා අවධාරණය කරයි.
වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම බැක්ටීරියාව බොහෝවිට වරින් වර විදේශ ගතවූ පුද්ගලයන් හරහා ද, බොහෝ ජනතාව ගැවසෙන, පහසුකම් අඩු බන්ධනාගාර වැනි ස්ථාන, විශ්වවිද්‍යාලවල නේවාසිකාරවල පවා මෙම බැක්ටීරියාව හමුවිය හැකි ස්ථාන ලෙස වෛද්‍යවරයා හඳුන්වා දෙයි.
නමුත් මෙරටින් මෙම බැක්ටීරියාව හමුවීම ඉතා දුලබ බව ද වෛද්‍යවරයා අවධාරණය කර සිටී.