අගුරුවාතොට ඌරුතුඩාවේ නිවසක පදිංචිව සිටි 24 හැවිරිදි මවගේත් මාස 11ක් වයසැති බිළින්දාගේත් සිරුරු අද උදෑසන ලඳු කැලෑවක වලක දමා තිබියදී හමුවී ඇත.
අගුරුවාතොට පොලීසිය සඳහන් කරනු ලබන්නේ පොලිස් නිලධාරීන් සහ ගම්වාසීන් එක්ව කළ සෝදිසියකදී මෙම මවත් බිළිදාත් පදිංචිව සිටි නිවසේ සිට කිලෝ මීටරයක් පමණ දුරින් පිහිටි ලඳු කැළෑවක වලකට දමා තිබියදී මෙම සිරුරු හමුවූ බවය.
මෙම මවත් දරුවාත් අතුරුදන්වන්නේ පසුගිය 18 වෙනිදාය. ඒ බව පොලීසියට පැමිණිලිකර ඇත්තේ මවගේ සැමියා විසිනි. නිවසේ තැන තැන සෝදා දැමූ ලේ පැල්ලම්ද තිබී පොලීසියට නිරීක්ෂණය වී තිබුණි. එබැවින් මෙම මරණය ගැන විමර්ශන පවත්වා තිබුණේ අපරාධයක් සේ සලකාය. එහිදී මෙම පවුලේ ඥාතියෙකුවද පොලිස් භාරයට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සිරුරු හමුවී තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.