fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස්පතිවරු නොමැති ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය නැවත කියැවීම

    පොලිස්පතිවරු නොමැති ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය නැවත කියැවීම

    සී.ඩී. වික්‍රමරත්න අවුරුදු 60 පිරීමත් සමඟ පොලිස් සේවයෙන් විශ්‍රාම ගත්තේ පසුගිය මාර්තු 25 වෙනිදාය. එදා ඔහු විශ්‍රාම යාමත් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබාදුන්නේය. එම සේවා දිගුව පසුගිය ජුනි 25 වෙනිදා අවසන් වීමෙන් පසු නැවතත් ඔහුට සේවා දිගුවක් ලැබුනේ නැත. සති දෙකකට පසු එනම් ජුලි 09 වෙනිදා ඔහුව නැවතත් පොලිස්පති ධූරයටම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබීය.

    මේ සති දෙකක කාලය තුළ වැඩ බලන්නටවත් පොලිස්පතිවරයෙක් නොවීය. එබැවින් බොහෝ අය කියන්නට වූයේ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පෙර නොවූ ලෙස වැඩ බලන පොලිස්පතිවරයෙක්වත් නොමැති තත්ත්වයකට පොලීසිය පත්ව ඇති බවය.

    විවිධ අය එසේ කීවත් විවිධ අර්ථකථනයන් ගෙන දුන්නත් ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය පිරිස්සීමේදී පෙනී යන්නේ ඉතිහාසයේ කොතෙකුත් අවස්ථාවල වැඩ බලන්නටවත් පොලිස්පතිවරයෙක් නොමැති වකවානු තිබී ඇති බවය.

    සී.ඩී. වික්‍රමරත්න පොලිස්පතිධූරයට පත්වන්නේ 2020 නොවැම්බර් 27 වෙනිදාය. ඒ පාස්කු ප්‍රහාරයත් සමඟ එවකට සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමත් සමඟ 2020 මාර්තු 13 වෙනිදා සිට පොලිස්පතිධූයේ වැඩ බැලීමකින් අනතුරුවය. මෙතරම් දීර්ඝ කාලයක් පොලිස්පතිධූරයේ වැඩ බැලූ ඉතිහාසයේ වෙන කිසිදු නිලධාරියෙක් නොමැති බැවින් එයද සී.ඩී. විසින් පොලීසියේ තැබූ වාර්තාවකි.

    පූජිත් ජයසුන්දර පොලිස්පතිධූරයට පත්වන්නේ එන්.කේ. ඉලංගකෝන් වයස අවුරුදු 60 සම්පූර්ණවී 2016 වසරේ අප්‍රේල් 12 වෙනිදා විශ්‍රාම ගැනීමෙන් අනතුරුවය. නමුත් පූජිත් ජයසුන්දර පොලිස්පතිධූරයට පත්කරනු ලබන්නේ 2016 අප්‍රේල් 20 වෙනිදාය. ඒ අනුව ඉලංගකෝන් විශ්‍රාම ගැනීමෙන් පසු දින 08ක් ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පතිවරයෙක් නොවීය. මේ කාලය තුළ වැඩ බැලීමටවත් පත්කිරීමක් සිදුව තිබුණේ නැත. පොලීසිය දිව්වේ එවකට පරිපාලන අංශ ප්‍රධානියාව සිටි ගාමිණි නවරත්නගේ හයියෙනි.

    ඉලංගකෝන් පොලිස්පතිධූරයට පත්වන්නේ 2011 වසරේ ජූලි 16 වෙනිදාය. ඒ මහින්ද බාලසූරිය පොලිස්පතිධූරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇතිවන පුරප්පාඩුවටය. පුද්ගලික අංශයේ සේවකයන්ට යෝජිත විශ්‍රම වැටුප් පනතට එරෙහිව කටුනායක වෙළද කලාපයේ සේවකයින් පිරිසක් විසින් කළ උද්ඝෝෂනයකට පොලීසිය විසින් වෙඩි තැබීමෙන් ඇගළුම් කම්හල් සේවකයෙන් මිය යාම මුල්කරගෙන එහි වගකීම භාරගෙන මහින්ද බාලසූරිය පොලිස්පතිධූයෙන් ඉල්ලා අස්වන්නේ 2011 වසරේ ජුනි 17 වෙනිදාය. නමුත් ඉලංගකෝන් පොලිස්පතිධූරයටපත්කරනු ලබන්නේ මහින්ද බාලසූරිය ඉල්ලා අස්වී මාසයකට පසුවය. මේ කාලය තුළ ද වැඩ බැලීමට පොලිස්පතිවරයෙක් නොවීය. පරිපාලන අංශ ප්‍රධානියා ලෙස ඉලංගකෝන් පොලීසියේ සියළු කටයුතු ඉටුකරනු ලැබීය.

    මහින්ද බාලසූරිය පොලිස්පතිධූරයට පත්වන්නේ ජයන්ත වික්‍රමරත්න පොලිස්පතිධූරයෙන් 2009වසරේ නොවැම්බර් 02 වෙනිදා විශ්‍රාම ගැනීමෙන් අනතුරුවය. ජයන්ත වික්‍රමරත්න විශ්‍රාම ගන්නා විට පොලිස්පතිධූරයට මහින්ද බාලසූරිය පත්කර තිබුණු බැවින් ඊට පහුවෙනිදාම ඔහු පොලිස්පතිධූරයේ වැඩ භාරගත්තේය.

    ජයන්ත වික්‍රමරත්න පොලිස්පතිධූරයට පත්වන්නේ වික්ටර් පෙරේරා 2008 වසරේ ජුනි 31 වෙනිදා විශ්‍රාම ගැනීමත් සමගිනි. ජූලි 01 වෙනිදා ඔහු වැඩභාරගත් බැවින් මෙවන් අර්බුදයක් එකල නොවීය. විටර් පෙරේරාද 2006 වසරේ ඔක්තෝමබර් 12 වෙනිදා පොලිස්පතිධූරයට පත්වන්නේ චන්ද්‍රා ප්‍රනාන්දු ඊට පෙර දින විශ්‍රාම යාමත් සමගිනි. එහිදීද පොලිස්පතිධූරය සම්බන්ධයෙන් ගැටළුවක් නොවීය. චන්ද්‍රා ප්‍රන්දු පොලිස්පතිධූරයට පත්වන්නේ ඉන්ද්‍රාද සිල්වා පොලිස්පතිධූරයෙන් 2004 වසරේ සැත්තැම්බර් 30 වෙනිදා විශ්‍රාම ගිය දිනට පහුවෙනිදාය. එහෙත් ඉන්ද්‍රාද සිල්වා පොලිස්පතිධූරයටපත්වන්නේ ආනන්ද රාජා 2003 වසරේ ඔක්තෝබර් 14 වෙනිදා විශ්‍රාම ගොස් මාස 02කුත් දින 05කට පසුවය. මේ කාලය තුළදීත් වැඩ බැලීමට නිසි නිලධාරියෙක් පත්කර නොතිබුණි. පොලිස්පතිධූරයේ වැඩ ආවරණයකරනු ලැබුවේ පරිපාලන අංශ ප්‍රධානියාව සිටි ගාමිණි රන්දෙණිය විසිනි.

    ආනන්ද රාජා පොලිස්පතිධූරයට පත්වන්නේ ලකී කොඩිතුවක්කු පොලිස්පතිධූරයේ රැදී සිටියදීම අභාවප්‍රාප්තවීමෙන් ඇතිවූ පුරප්පාඩුවටය.ඒ 2002 වසරේ අගෝස්තු 28 වෙනිදාය. ලකී කොඩිතුවක්කු අභාවප්ප්‍රාප්තවන්නේ අගෝස්තු 27 වෙනිදාය.

    ලකී කොඩිතුවක්කුට පෙර පොලිස්පතිධූරයේ රැදී සිටින්නේ ඩබ්ලිව්. බී. රාජගුරුය. 1998 වසරේ අගෝස්තු 31 වෙනිදා ඔහු විශ්‍රාම ගියද ලකී කොඩිතුවක්කු එම තනතුරට පත්කරනු ලබන්නේ 1998 වසරේ සැත්තැම්බර් 01 වෙනිදාය.

    රාජගුරුට පෙර ආචාර්ය ටී.පී.එෆ්. ද සිල්වා, ඊ.ඊ.බී. පෙරේරා, සිරිල් හේරත්,එච්.ඩබ්ලිව්.එච්. වීරසිංහ, රුද්‍රා රාජසිංහම් යන නිලධාරීන් පොලිස්පතිධූරය දරුනු ලැබුවේ පොලිස්පතිධූරයේ හිඩැසක් ඇති නොවන ලෙසිනි. නැවතත් පොලිස්පතිධූරයේ හිඩැසක් ඇතිවන්නේ ජී.ඒ.ඩී.ඊ.ඒ. සෙනවිරත්න 1982 මාර්තු 14 වෙනිදා විශ්‍රාම ගැනීමත් සමගිනි. රුද්‍රා රාජසිංහම් පොලිස්පතිධූරයට පත්කෙරන්නේ මාසයකුත් දින 06කට පසුවය.

    ඊට පෙර පොලිස්පතිධූරය දරණ ස්ටැන්ලි සේනානායක, ඊ.එල්.අබේගුණවර්ධන, ජෝන් ආටිගල, යන නිලධාරීන්ගේ සේවා කාලය තුළද පොලිස්පතිධූරයේ හිඩැසක් ඇති නොවීය. එක් නිලධාරියෙක් විශ්‍රාම ගිය පහුවෙනිදාම ඒ අය පොලිිස්පතිධූරයේ වැඩ භාරගෙන කටයුතු කරනු ලැබීය.

    එහෙත් එස්.ඒ. දිසානායක 1963 වසරේ ජුනි 03 වෙනිදා පොලිස්පතිධූරයටපත්වන්නේ එම්.ඩබ්ලිව්.එෆ්. අබේකෝන් 1963 වසරේ අප්‍රේල් 29 වෙනිදා විශ්‍රාම ගැනීමෙන් මාසයකුත් දින 04කට පසුවය.

    පොලිස් ඉතිහාසයේ ඊට පසුව තවත් පොලිස්පතිවරු 11 දෙනෙක් සේවයේ නිරතව සිට ඇති බව සඳහන්යත. වසර 150කට එහා ගිය පොලිස් ඉතිහාසය තුළ මේ අනුව බලන කල පොලිස්පතිවරයෙක් නොමැතිව පොලීසියක් පැවති පළමු අවස්ථාව වන්නේ මෙය නොවන බව පැහැදිලිය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.