තායි රාජා, කණ්ඩුල රාජා හෝ තායිලන්තයෙන් මෙරටට හිමිවූ කිසිදු ඇතෙකු යළි ලබා ගැනීම සම්බන්ධයෙන් තායිලන්ත රජයේ තීරණයක් නොමැති බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති පොජ් හර්න්පෝල් මහතා පවසයි.
එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ පුවත් සංසරණය වුවත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙතෙක් එවැනි කිසිදු තීරණයකට එළැඹ නොමැති බව ද තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
තානාපතිවරයා මෙම අදහස් පළ කළේ අද (06) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පංතියට අයත් තායිලන්තයෙන් මෙරටට හිමිවූ තායිරාජා ඇතුගේ සුවදුක් විමසීමට පැමිණි අවස්ථාවේදීය.
මඳ කිපීම හේතුවෙන් ඇත් පංතියෙන් වෙන් කොට විවේක කාලයෙන් ගත කරන තායිරාජා ඇතු නිරීක්ෂණය සඳහා තානාපතිවරයාගෙන් සමන්විත දූත පිරිස සුදුහුම්පොල රජමහා විහාරයට පැමිණියෝය.
තායිරාජා ඇතු නිරීක්ෂණයට ප්‍රථමයෙන් ඒ මහතා ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැදැ පුදා ආශිර්වාද ලබා ගත් අතර අනතුරුව විශේෂ අමුත්තන්ගේ මැදිරියේදි ඔවුන් සාකච්ඡාවක නිරතවිය.
ශ්‍රී ලංකාවේ අලි ඇතුන් රැක බල ගැනිම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම තායිලන්තයෙන් ලබාදීමට ඉදිරිපත් වන බව ද තානාපතිවරයා එහිදී කීවේය.
ප්‍රතිකාර සඳහා තායිලන්තය කරා රැගෙන ගිය මුතුරාජා ඇතු මේ වන විට සුවයෙන් පසුවන බව කී තානාපතිවරයා, සත්‍ය නොවන පුවත් හේතුවෙන් මහත් අර්බුද නිර්මාණය වී ඇතැයි සඳහන් කළේය.
තානාපතිවරයා සමඟ ඇතු නිරික්ෂණයට එක්වූ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, යම් යම් සිදුවීම් වාර්තාවුවත් අලි ඇතුන් පීඩාවට පත්කිරීමක් සමස්ථ වශයෙන් සිදුනොවන බව කීවේය. අලි ඇතුන් සඳහා ප්‍රමාණවත් අයුරින් ප්‍රතිකාර කටයුතු සහ රැක බලා ගැනීම් කළත් ශෛල්‍යකර්ම වැනි ප්රතිකාරවලින් අනතුරුව සතුන් රැක බලා ගැනීමේ රෝහල් නොමැතිවීම ගැටලුවක් වී ඇතැයි ද කීවේය.
මුතුරාජා ඇතුගේ සිද්ධිය හේතුවෙන් හීලෑ අලි ඇත් භාරකරුවන් මහත් අසීරුතාවට හා සිත් තැවුලට පත්වූ බව ද කී ඒ මහතා බොහෝ පිරිසක් අලි ඇතුන් රැක ගනිමින් ඔවුන්ට සත්කාර කරන බව ද පෙන්වා දුන්නේය. තාක්ෂණික වෛද්‍ය උපකරණ හා මෙවලම්වල හිඟතාව සතුන්ට ප්‍රතිකාර කිරීමේ ගැටලුවක් බවට පත්වී ඇතැයි ද දියවඩන නිලමේවරයා සඳහන් කළේය.
නිවෙස් හා විහාරස්ථාන ආදිය ආශ්‍රිතව හීලෑ අලි අතුන් 100ක් සහ පින්නවල අලි අනාථාගාරයේ හීලෑ අලි ඇතුන් 200ක් සිටින බව කී ඒ මහතා එම සත්වයන් රැසක් සුරක්ෂිතව පසුවන බව වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී දළදා මාලිගාවේ අලි ඇතුන්ගේ ප්‍රතිකාර භාරව කටයුතු කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ද මේ අවස්ථාවට එක්විය.