fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හමුදා ආරක්ෂාව මැද තෙල් බෙදීම ඇරඹේ -ෂෙඩ්වල රැස්වෙන්න එපා යැයි රජය ඉල්ලයි

    හමුදා ආරක්ෂාව මැද තෙල් බෙදීම ඇරඹේ -ෂෙඩ්වල රැස්වෙන්න එපා යැයි රජය ඉල්ලයි

    රට තුළ මේ වනවිට කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවත් එබැවින් ඉන්ධන පිරවුම්හල්වලට රැස් නොවන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    බාධාවකින් තොරව ඉන්ධන සැපයීමට රජය සහතික වන බවත් කලබල නොවන ලෙසත් රජය ජනතාවට දැනුම් දෙයි.

    ප්‍රමාණවත් තරම් ඉන්ධන පවතින බවට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තහවුරු කර තිබේ.මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රට තුළ ඇති වී තිබෙන ඉන්ධන හිඟය සම්බන්ධයෙන් කලබල නොවන ලෙසයි.

    රටට අවශ්‍ය තරම් ඉන්ධන තොග රට තුළ පවතින අතර බෙදා හැරීම් අඛණ්ඩව සිදු කරමින් පවතින බවද හෙතෙම කියා සිටී.

    වෘත්තිය සමිති ක්‍රියාකාරීන් විසින් මෙතෙක් රාජකාරියට පැමිණීම බලහත්කාරයෙන් බාධා කර තිබූ සේවක සේවිකාවන්ට තම රාජකාරියට පැමිණීමට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට පොලිසිය හා හමුදාව යොදවා ඇති බවද ඔහු පවසයි.

    ඒ අනුව මෙතෙක් ප්‍රමාද වූ ඉල්ලුම බෙදා හැරීමත්, බෙදාහැරීමේ පර්යන්තවලට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමටත් ආරක්ෂක අංශ කටයුතු කරමින් ඇතැයිද ඔහු සඳහන් කරයි.

    මේ වන විට තෙල් සංස්ථාවේ කොළොන්නාව නිමාවෙන් හමුදා ආරක්ෂාව සහිතව ඉන්ධන බවුසර් පිටත් කිරීමට පියවර ගෙන ඇති අතට එම සෑම ඉන්ධන බවුසරයක් සඳහාම යුද හමුදා ආරක්ෂාව ලබා දී ඇත.

    අද පස්වරුවේ අමාත්‍යවරයා කියා සිටියේ රාජකාරි සඳහා පැමිණෙන තෙල් සංස්ථා සේවකයන්ට බාධා කරන වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සේවයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ගන්නා ලෙස තමන් බලධාරීන්ට දැනුම් දුන් බවයි.

    ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ එහි ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ සේවකයින් ඇරඹු වැඩවර්ජනයක් හේතුවෙන් ඉන්ධන සැපයුමට යම් බාධා ඇතිව තිබුණි.

    තෙල් සේවක වර්ජනය උග්‍ර අතට පත්වන්නේ අද ප්‍රකාශයට පත්කරන ලද කැබිනට් තීරණයත් සමඟිනි.

    ඒ දිගුකාලීන ගිවිසුම් මත ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා සමාගම් තෝරා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඊයේ අනුමැතිය පළ වීමය.

    කැබිනට්ටුව විසින් අනුමත කර තිබු යෝජනාව මෙසේය.

    දිගුකාලීන ගිවිසුම් මත ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සදහා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම පිණිස 2022 06 27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.

    ඒ අනුව, සමාගම් 26ක් සිය යෝජනා ඉදිරිපත් කර ඇති අතර, තාක්ෂණ ඇගයීම් කමිටුව සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුව විසින් යෝජනා සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීම පිණිස සුදුසුකම් සහිත සමාගම් 13ක් නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව සමාගම් 07ක් සවිස්තරාත්මක යෝජනා ඉදිරිපත් කර තිබේ.

    එකී යෝජනා පිළිබඳව තාක්ෂණ ඇගයීම් කමිටුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන විශේෂ කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ඉදීරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව 2022 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධිත) පනතේ විධිවිධාන අනුව ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා පහත සඳහන් ආයතන සමඟ ගිවිසුම්ගත වීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

    * සයිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා පෞද්ගලික සමාගම

    * ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම

    * ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්.එම්.පාර්ක්ස් සමාගම

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.