fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උත්සව සමයේදී පේමන්ට් කඩවලට නොමිලේ ඉඩක්

    උත්සව සමයේදී පේමන්ට් කඩවලට නොමිලේ ඉඩක්

    උත්සව සමය වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග රක්ෂිතවල නිෂ්පාදන අලෙවි කිරීම සඳහා තාවකාලිකව අවසර ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

    ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ගාල්ලේ දී පැවති නව බස්රථ බෙදාදීමේ උත්සව අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    “රට තුළ පැවැති කොවිඩ් වසංගත තත්වය ඇතුළු අර්බුද හේතුවෙන් ගෙවුණු වසර දෙක තුළම සිංහල හින්දු අලුත් අවුරුද්ද සුපුරුදු පරිදි සැමරීමේ අවස්ථාව අපේ රටේ ජනතාවට අහිමි වුණා. එම නිසා බොහෝ නිෂ්පාදකයින්ට සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමේ අපහසුතාවයන් රැසකටද මුහුණ දීමට සිදුවුණා. ස්වයං රැකියාවක් ලෙස ගෘහාශ්‍රිතව සහ සුළු පරිමාණයෙන් නිෂ්පාදනය සිදු කරන එවැනි ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව මාර්ග දෙපස සිට අලෙවි කිරිම සඳහා උත්සව සමය වෙනුවෙන් තාවකාලික අවසරයක් ලබා දීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කටයුතු කරනවා.

    ඒ අනුව මාර්ග රක්ෂිත ආශ්‍රිතව වෙන් කර දෙනු ලබන විශේෂිත ප්‍රදේශවල අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සහ අධීක්ෂණය සහිතව ස්ථිර ඉදිකිරීම් සිදු නොකර සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නිෂ්පාදකයින්ට තාවකාලිකව මෙම අවසරය අවස්ථාව හිමිවනවා.

    මේ වන විට මහරගම නගරය ඇතුළු ස්ථාන කීපයක රිදිපිළි ඇතුළු ඇඟලුම් අලෙවි කිරීම සඳහා මෙවැනි විශේෂිත ස්ථාන අප වෙන් කර දී තිබෙනවා.

    දිවයිනේ අනෙකුත් සියලුම ප්‍රදේශවලත් එලෙසින්ම උත්සව සමය නිමවන තුරු තාවකාලිකව ස්වයං රැකියාවල නිරත වන නිෂ්පාදකයින්ට සෘජුවම සිය නිෂ්පාදන පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමේ අවස්ථාව ලබාදීමට අප කටයුතු කරනවා.”යැයිද අමාත්‍යවරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.