fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'IMF ණය මාර්තුවේ - පොලී අඩුකරන්නත් බලනවා'

    ‘IMF ණය මාර්තුවේ – පොලී අඩුකරන්නත් බලනවා’

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය මාර්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    මේ වන විට උද්ධමනය ක්‍රමිකව අඩුවීමට සාපේක්ෂව බැංකු පොළී අනුපාත අඩු කිරීම පිළිබඳව සළකා බලන බවත් ජනාධිපතිවරයා කියාසිටී.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සුළු හා මහා පරිමාණ සහල් මෝල් හිමියන් මුහුණ දී ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගතයුතු පියවර පිළිබඳ සොයා බැලීමට ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

    ඉන්ධන මිල, විදුලි ගාස්තු, යන්ත්‍ර සූත්‍ර නඩත්තු වියදම්, ප්‍රවාහන වියදම් වැඩිවීම සහ අනෙකුත් සියළුම නිෂ්පාදන හා පරිපාලන වියදම් ඉහළ යාම නිසා සහල් කිලෝවක නිෂ්පාදන වියදම වැඩිවී ඇත.

    එම නිෂ්පාදන මිලට සාපේක්ෂව දැනට වෙළඳපොළේ පවතින සහල් මිලට තම නිෂ්පාදන අලෙවි කිරීමෙන් පාඩු සිදුවන බවත් සහල් මෝල් හිමියන් විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

    එසේම වී මිලදී ගැනීමට ලබාගත් බැංකු ණය සඳහා 28% ක පොළියක් ගෙවීමට සිදුවීම හේතුවෙන් මුහුණදීමට සිදුව ඇති දුෂ්කරතාව පිළිබඳව ද ඔවුහු කරුණු ඉදිරිපත් කළහ.

    ගොවිතැන් කටයුතුවල ගොවි යෙදවුම් මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති නිසා වී කිලෝවක නිෂ්පාදන වියදම වැඩිවී ඇත.

    වගා කටයුතු සඳහා ගොවීන් බැංකුවලින් ලබා ගෙන ඇති ණය සඳහා ඉහල පොළියක් ගෙවීමට සිදුව තිබෙන බව ද මෙහිදී සඳහන් කෙරිණි.

    මෙලෙස ගොවියාගේ නිෂ්පාදන වියදම මෙන්ම සහල් මෝල් හිමියන්ගේ සහල් නිෂ්පාදන වියදම ඉහළ යාම නිසා වී කර්මාන්තය පවත්වාගෙන යාමට අසීරු වී තිබෙන අතර රජයේ මැදිහත්වීමෙන් ඊට කඩිනමින් සහනයක් ලබා දෙන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.