fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගහපු ලියුම ගැන රාජ්‍ය පරිපාලන ලේකම් මැතිවරණ කොමිසමෙන් සමාව ඉල්ලයි

    ගහපු ලියුම ගැන රාජ්‍ය පරිපාලන ලේකම් මැතිවරණ කොමිසමෙන් සමාව ඉල්ලයි

    පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඇප තැන්පත් භාර ගැනීම යළිදැනුම්දෙනතුරු අත්හිටුවන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන්/ තේරීම් භාර නිලධාරීන් වෙත පසුගියදා (10) තමා විසින් නිකුත් කරන ලද ලිපිය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවෙන් සමාව අයැද තිබේ.

    ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඒ පිළිබඳ ‍කොමිසම විසින් අද දින කරන ලද විමසීමෙන් අනතුරුවයි.

    අදාළ ලිපිය නිකුත් කිරීම මත මැතිවරණ කොමිෂන් සභාවට යම් අපහසුතාවක් සිදු වූයේ නම් ඒ පිළිබඳව සමාව අයදමින් ඉදිරියේදී එවැනි තත්තවයක් ඇති නොවීමට කටයුතු කරන බවද ලේකම්වරයා විසින් තවදුරටත් තහවුරු කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    එහිදී කරුණු දක්වමින් ලේකම්වරයා පවසා තිබුණේ, ඔහු වෙත වගකීම පවරා තිබූ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව එම තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ලිපිය නිකුත් කළ බවය.

    ඉන් අනතුරුව එය සුදුසු නොවන බවට හැඟී ගිය බැවින්, පැයක් වැනි කාලයක් තුළ එම ලිපිය ආපසු කැඳවීමට ක්‍රියා කළ බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

    තවදුරටත් ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ මැතිවරණ කොමිෂන් සභාවේ ක්‍රියාවලියට මැදිහත් වීමේ කිසිඳු අරමුණක් හෝ චේතනාවක් නොතිබූ බවත් හුදෙක් අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම පමණක් සිදුකළ බවත් ය.

    ලිපිය නිකුත් කර කෙටි කාලයක් තුළ එය ඉවත් කර ගැනීමට කටයුතු කර ගැනීම හේතුවෙන් ඇප තැන්පත් කිරීමේ ක්‍රියාවලියට කිසිඳු අගතියක් සිදු නොවූ බව ඔහු පවසා ඇත.

    ඊට පසු දින පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 131 ක් ඇප තැන්පත් කිරීමෙන් එය පැහැදිලි වන බවත් සඳහන් කර තිබේ.

    මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යය භාරය හා ඡන්ද විමසීම් අවස්ථාවකදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පවරා දී ඇති බලතල හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව රාජ්‍ය නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳවද ඔහු වෙත මෙහිදී පැහැදිලි කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.