fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPතරු පායන තැනකට ගිය ගෝඨාභය

    තරු පායන තැනකට ගිය ගෝඨාභය

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දිනවල ඩුබායි සංචාරයක නිරත වී අද යලි දිවයිනට පැමිණ ඇත.

    ඔහු ඩුබායි සංචාරයේ නිරත වන අතරතුර දී, එරට පිහිටි සයිෆ් බෙල්හාසා නමැති බිලියනපති ව්‍යාපාරිකයා විසින් පවත්වාගෙන යනු ලබන ෆේම් පාර්ක් නමැති පෞද්ගලික සත්වෝද්‍යානයෙහි සංචාරයක ද නිරත වී තිබේ.

    එහි ඡායාරූප එම ව්‍යාපාරිකයා විසින් සිය සමාජ ජාල ඔස්සේ මුදාහැර තිබුණි.

    මෙම පෞද්ගලික සත්වෝද්‍යානය විශේෂිත ආරාධිතයන්ට, සුපිරිතරුවලට පමණක් වෙන්වූවක් වන අතර එහි පැමිණෙන විශේෂිත පුද්ගලයන්ට සත්වෝද්‍යානයේ මඟපෙන්වන්නා වන්නේ ද එහි හිමිකාර, බිලියනපති ව්‍යාපාරිකයා වන බෙල්හාසාම වීම විශේෂත්වයකි.

    සයිෆ් අහමඩ් බෙල්හාසා යනු සයිෆ් බෙල්හාසා හෝල්ඩිංග්ස් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ මෙන්ම සභාපතිවරයායි. ඒ යටතේ පවතින සමාගම් ගණන 50කට අධික ය. මුල්‍ය, දේපොළ වෙළෙඳාම්, රථවාහන , ප්‍රකාශන, සේවා, අධ්‍යාපන, කර්මාන්ත, සිල්ලර, අවන්හල් යනාදි අංශවල ව්‍යාපාර ගණනාවක් බෙල්හාසා හෝල්ඩිංග්ස් සමූහ ව්‍යාපාරය සතු වේ.

    ලෝක ප්‍රකට පුද්ගලයින්ට පමණක් පයගැසීමට හැකි තැනක් වන ඩුබායි කාන්තාරයේ පිහිටි මෙම පෞද්ගලික සත්වෝද්‍යානය පිහිටුවා වසර 11ක් පමණි. වර්ග 95කට පමණ අයත් සතුන් 500කට වැඩි සංඛ්‍යාවක් මෙහි වාසය කරයි. ඒ අතර ජිරාෆ්, කොටි, වලසුන් ආදි සතුන් ද වෙති.

    මුලින් මෙය බෙල්හාසාගේ අශ්වයන් රඳවා සිටි ගොවිපළ වුවත් අශ්වයන්ගෙන් ආසාත්මිකතාවක් ඇතිවීමත් සමඟ එය නවතා දැමීමට ඔහුට සිදුවිය. එවකදීම ඔහුගේ මිතුරකු විසින් කුඩා සිංහ පැටවකු ඔහුට පරිත්‍යාග කර තිබූ අතර එය සත්වෝද්‍යානයක් බවට පත්කිරීමේ අදහස ආවේ ඒ පුංචි පැටවා නිසා බව බෙල්හාසා වරෙක පවසා තිබුණි.

    ආචාර්ය උපාධියක් හදාරමින් සිටින බෙල්හාසා සිය ව්‍යාපාර සමග ගත කරන්නේ අතිශය කාර්යබහුල ජීවිතයක් වුවත් මෙම සත්වෝද්‍යානයට පැමිණෙන විශේෂිත තරුවලට මඟපෙන්වීම ඔහු විසින්ම සිදුකිරීමට අමතක නොකරයි.

    ‘මම මෙහි සමහර විට දෙවතාවක්, සතියකට තුන් වතාවක්, නමුත් සමහර මාසවල මම සෑම දිනකම එනවා,’ ඔහු පැවසීය.

    දුර බැහැර සිට ලෝක ප්‍රසිද්ධ පුද්ගලයින් ආකර්ෂණය කර ගත් සත්වෝද්‍යානයට ආරාධනා කිරීම ද දුර්ලභ අවස්ථාවක් බව ඒ පිළිබඳ පළවූ වාර්තාවක සඳහන් විය.

    ‘මෙය අද්විතීය ස්ථානයක් වගේම මෙහි පැමිණෙන්නේ ද අද්විතීය පුද්ගලයින්.’ බෙල්හාසා ආඩම්බරයෙන් කියාසිටී.

    “එය පොදු ස්ථානයක් නොවන නිසා මම එය මහජනතාවට විවෘත කරන්නේ නෑ. ඔබ මගේ සත්වෝද්‍යානය‍ට, මගේ නිවසට පැමිණෙන බව ඔබට දැනෙන්නට මට අවශ්‍යයි. ඒ හින්දා අමුත්තන් ආවම මට මෙතන ඉඳලා එයාලව බලාගන්න වෙනවා.” බෙල්හාසාගේ කැමැත්ත එයයි.

    දිනපතාම, බෙල්හාසාට තම පෞද්ගලික සත්වෝද්‍යානයට නැරඹීමට ලොව පුරා සිටින ප්‍රකට පුද්ගලයින්ගෙන් ඉල්ලීම් ගලා එයි. නමුත් දැන් සමාජ මාධ්‍ය ගිණුමක පමණක් මිලියන 2.2 ක පසුහඹන්නන් සිටින ව්‍යාපාර අතින් මෙන්ම මෙම සත්වෝද්‍යානය නිසා ද ප්‍රසිද්ධියට පත්ව ඇති බෙල්හාසාට, පැමිණෙන අමුත්තන් තෝරාගැනීමේදී දැඩි නිර්ණායක තිබෙන බව ඔහු සඳහන් කර ඇත.

    ‘ඔවුන් හොඳින් දන්නා කෙනෙකු විය යුතුය,’ ඔහු කීවේය. අතීතයේ ඔහුගේ සමහර අමුත්තන්ට A-list කීර්තිමත් පුද්ගලයින් ඇතුළත් කර ඇත. ලයනල් මෙසී, Mariah Carey, Anthony Joshua, Blac Chyna, Ne-Yo සහ Jason Derulo ආදීන් ඊට ඇතුළත් විය.

    “මම මෙහි පැමිණෙන පුද්ගලයින්ගේ ඡායාරූප, වීඩියෝ මගේ සමාජ මාධ්‍යවල බෙදා ගන්නා විට, මගේ සමාජ මාධ්‍ය පසුහඹන්නන්ට හැමවිටම විශේෂිත පුද්ගලයකු පෙන්වීමට මට අවශ්‍යයි” ඔහු පැවසීය.

    නිතර අලුත් මුහුණු දැකීමෙන් හැම සතෙක්ම එතරම් සතුටු නොවන නිසා උද්‍යානයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා එන අයගේ ගණන අවම මට්ටමක තබා ගැනීමට බෙල්හාසා කැමතිය.

    ‘මෙතනට ලොකු වියදමක් දරනවා තමයි. ඒත් මම මෙතන ලාබයක් අරමුණු කරගෙන කරන්නේ නෑ. මට වඩාත් වැදගත්ම දේ මේ සතුන්. මම මෙතන පවත්වාගෙන යන්නේ මගේ සතුට වෙනුවෙන්.’ බෙල්හාසා කියයි.

    සතුන්ට වගේම එකසේම පාපන්දු සඳහා ඇති ඔහුගේ ආදරය ඒකාබද්ධ කරමින්, බෙල්හාසා සිය සත්වෝද්‍යානයේ සම්පූර්ණ ප්‍රමාණයේ තණතීරුවක් ද ගොඩනඟා ඇත. එය ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු එහි පිටිය අලංකාර කරමින් එහි ක්‍රීඩාවේ යෙදෙනුද දැකගත හැකිව තිබූ බව විදෙස් වාර්තාවක දැක්විණ.

    පහත දැක්වෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ෆේම් පාර්ක්හි සංචාරයේ නිරත වූ අවස්ථාවේදී ගන්නා ලද, බෙල්හාසා විසින් ප්‍රසිද්ධ කර තිබූ ඡායාරූප ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.