fbpx
තවත්
    මුල් පිටුවspecialපැරිසියේ වෙඩි තැබීමකින් තිදෙනෙකුට දිවි අහිමි වෙයි

    පැරිසියේ වෙඩි තැබීමකින් තිදෙනෙකුට දිවි අහිමි වෙයි

    ප්‍රංශයේ පැරිස් නුවර අද (23) සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

    වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා කුර්දි සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉලක්ක කර ප්‍රදේශයේ ප්‍රජාවට වෙඩි තබා ඇති බවත් වෙඩි තැබීම ජාතිවාදී චේතනාවක් මත සිදුකරන ලද්දක් දැයි සොයා බැලීමට මේවන විට විමර්ශනය අරම්භ කර ඇති බව ප්‍රංශ පොලිසිය පවසයි.

    අදාල වෙඩි තැබීම සිදුකළ 69 හැවිරිදි සැකකරුවෙකු කඩිනමින් අත්අඩංගුවට ගත් අතර ඔහු මීට සුළු කාලයකට පෙර බන්ධනාගාරයෙන් නිදහස් වී ඇති තැනැත්කෙකු බවටද හෙළි වී තිබේ.

    ප්‍රහාරයට ලක් වූ මධ්‍යස්ථානය පවත්වාගෙන යන ප්‍රංශයේ කුර්දි ප්‍රජාතන්ත්‍රවාදී කවුන්සිලය ප්‍රහාරය හෙළා දකිමින් නිවේදනයෙක් නිකුත් කරනු ලැබුවේය.

    එරට පොලිසිය පවසන ආකාරයට වෙඩි තැබීමට හේතුව තහවුරු කර නොමැති අතර පැරිස් අභිචෝදක විසින් සැකකරුට මීට පෙර ජාතිවාදී ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව තහවුරු කළේය.

    ඔහු පැරීසියේ සංක්‍රමණික කඳවුරක කූඩාරම්වලට 2021 දෙසැම්බර් 8 වැනි දින කඩුවකින් පහරදීමේ සිද්ධියකටද සම්බන්ධ බවට අනාවරණය වන අතර ඔහු මෑතකදී බන්ධනාගාරයෙන් නිදහස් කළේ කුමන පදනමක් මත දැයි පැහැදිලි නොමැති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.

    ප්‍රාදේශීය නගරාධිපති ඇලෙක්සැන්ඩ්‍රා කෝඩ්බාර්ඩ් පැවසුවේ සැකකරු ද වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇති බවයි: සැකකර විසින් කුර්දි ප්‍රජා මධ්‍යස්ථානයක්, අවන්හලක් සහ රූපලාවණයාගාරයක් තුල වෙඩි තැබීම් කර ඇත. එහිදී රූපලාවණ්‍යාගාරය තුළ පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඇති බවට ප්‍රංශ පොලිසිය සනාථ කරයි.

    පැරිස් නගරාධිපති ඈන් හිඩල්ගෝ පැවසුවේ මෙම ඝාතන “අන්ත දක්ෂිණාංශික ක්‍රියාකාරිකයෙකු” විසින් සිදු කර ඇති බවයි. ඇය තවදුරටත් මෙසේ පැවසුවාය, ” කොතැනක වාසය කළත් කුර්දි ජාතිකයින්ට සාමයෙන් හා සුරක්ෂිතව ජීවත් වීමට හැකි විය යුතුය. වෙන කවරදාටත් වඩා පැරිස් මේ අඳුරු කාලවලදී ඔවුන්ගේ පැත්තේ සිටී.”

    ප්‍රංශ අගමැති එලිසබෙත් බෝර්න් පොලිසිය ඔවුන්ගේ තීරණාත්මක ක්‍රියාව ගැන ප්‍රශංසා කළ අතර ඝාතන “නීච ක්‍රියාවක්” ලෙස ප්‍රකාශ කළාය.

    මේ අතර අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Gérald Darmanin සිද්ධිය වූ ස්ථානයට ගොස් මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කර ඇත්තේ වෙඩික්කරුගේ අරමුණ කුමක්ද යන්න තවමත් පැහැදිලි නැති බවයි.

    චමරු අමාසර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.