fbpx
තවත්

    අයවැය ඡන්දය අද

    විසර්ජන පනත් කෙටුම්පත -2023 (අයවැය) තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (08) පාර්ලිමේන්තුවේ දී සිදුවෙයි.

    විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ ( වැය ශීර්ෂ ) නොවැම්බර් (23) ආරම්භ විය.

    කාරක සභා අවස්ථාවේ විවාදයේ 13 වැනි දිනය වන අදයි.

    අද මුදල්,ආර්ථික ස්ථාපීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනේ.

    ඉන් අනතුරුව අයවැය තෙවැනිවර කිරීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. අයවැය සඳහා ඡන්ද විමසීම ප.ව 5.00ට ආරම්භ වෙයි.

    2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ සමාරම්භක කථාව (අයවැය කථාව) ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නොවැම්බර් (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    නොවැම්බර් 15 දින සිට අයවැය දෙවැනිවර කියවීමේ විවාදය ඇරඹිනි. විසර්ජන පනත් කෙටුම්පත 2023 දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් (22) සිදු විය . අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර අයවැයට පක්ෂව ඡන්ද 121 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 84 ලැබුණි.

    මේ අතර ලබන 10 වැනි සෙනසුරාදා වෙනුවට 13 වැනි අගහරුවාදා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් (05)දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    පෙර තීරණය කළ පරිදි 9 වැනි සිකුරාදා, එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වය දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වීමට නියමිත බවද මහලේකම්වරයා පැවසීය.

    තවද අද 8 වැනිදා පැවැත්වීමට නියමිත විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම ප.ව 5.00 ට පැවැත්වීමට ද කාරක සභාවේ එකඟත්වය පළවී තිබේ.

    1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ 2022.12.03 දිනැති 2308/62 අංක දරන ගැසට් පත්‍රයේ සදහන් නියමය ද අනුමතිය සදහා අද( 8 වැනිදා ) ඉදිරිපත් කිරීමටද මෙහිදී තීරණය වී ඇත.

    එසේම ලබන 13 වැනිදායින් පසු නැවත 2023 ජනවාරි 17 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණ වූ බව මහලේකම්වරයා පැවසීය

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.