fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් වෙසින් කොල්ලකෑමකට යමින් සිටි 8ක් අල්ලයි

    පොලිස් වෙසින් කොල්ලකෑමකට යමින් සිටි 8ක් අල්ලයි

    නිධානයකින් ගොඩගත් බව කියන රත්තරන් තොගයක් පොලිස් වෙසින් කොල්ලකෑමේ සූදානමින් වෑන් රථයක නැගී බකමූණ බලා ගමන් කරමින් සිටි යුද හමුදාවෙන් ඉවත් කරන ලද සෙබලෙක් ඇතුළු 08 දෙනෙකුගේ කණ්ඩායමක් අත්විලංගු ජෝඩුවක් සහ සෙල්ලම් පිස්තෝල 02ක් සමඟ නාවුල පොලීසියේ නිලධාරීන් විසින් පෙරේදා (01) අත්අඩංගුවට ගෙන තිබේ.

    ඇලහැර මාර්ගයේ ගමන්කරමින් තිබුණු මෙම පිරිස රැගත් වෑන් රථය පෙරේදා සවස නාවුල මාරාගමුවේදී ක්ෂණික පොලිස් මාර්ග බාධකයකදී පරීක්ෂාවට ලක්කිරීමේදී ඔවුන් සතුව තිබුණු සෙල්ලම් පිස්තෝග දෙක සහ අත්විලංගු ජෝඩුව හමුවීම හේතුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගත් බව නාවුල පොලීසිය සඳහන් කළේය.

    ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ යුද හමුදාවෙන් ඉවත්කර ඇති පුද්ගලයා මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටියදී බන්ධනාගාරයේ ඇතිවුණු කැරැල්ලක් අතර තුර එම මාංචු කුට්ටම බන්ධනාගාරයෙන් සොරාගත් බවය. ගම්පහ අස්ගිරියේ සඳගිරිවත්තේ පදිංචිකරුවෙක් වන මෙම සැකකරු පිහියෙන් ඇන පුද්ගලයෙකුව ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස ලබා ඇත්තේ පසුගිය වසරේ ජනවාරි මාසයේදීය. ඔහු පවසා ඇත්තේ තමා බන්ධනාගාරයෙන් එළියට එනවිට එම මාංචු කුට්ටම රැගෙන ආ බවය. පොලීසිය පවසනුයේ එසේ මාචු කුට්ටමක් සොරාගෙන සිරකරුවෙකුට පිටතට රැගෙන ඒම කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බවය. එබැවින් ඒ ගැන වැලිකඩ බන්ධනාගාරයෙන්ද කරුණු විමසා බලන බව නාවුල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් හීන්කෙන්ද මහතා සඳහන් කළේය.

    අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් පරගස්තොට,ගල්පාන, රඹුක්කන, ගම්පහ, නෑබඩ, මිල්ලෙනිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ඔවුන් අවුරුදු 47ත් 23ත් අතර පසුවන්නන් බව පොලීසිය සදහන් කළේය. මෙම සැකකරුවන් අතර වෘත්තියෙන් රියදුරන් කම්කරුවන් මෙන්ම ඇල්මේනියම් කාර්මිකයෙකු සහ කට්ටඩියෙකුද සිටින බව පොලීසිය කියයි.

    බකමූණේ පුද්ගලයෙකු විසින් නිධානයකින් ගොඩගත් රත්තරන් තොගයක් අලෙවි කිරීමට සූදානම්කර ඇති බවත් එම රත්තරන් තොගය මිලදී ගැනීමට යන ගැණුම්කරුවන් ලෙස එහි ගොස් එම රන් තොගය පොලිස් වෙසින් කොල්ලකෑම සිය අදහස බව හමුදා සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. එසේ පොලිස් වෙසින් කොල්ලකෑමක් සඳහා හෝ රන් මිලදී ගැනීමට මෙතරම් පිරිසක් රැගෙන යාම අසාමාන්‍ය බව පොලීසිය කියයි. කට්ටඩියෙකුත් මෙම කණ්ඩායමේ සිටින බැවින් පොලීසිය සැකරනුයේ නිධානයක් ගොඩ ගැනීමට මෙම පිරිස ගමන් කරමින් සිට ඇති බවය. ඒ ගැන වැඩිදුර තොරතුරු සොයා ගැනීම සදහා සැකකරුවන් රදවාගෙන දින තුනක් විමර්ශන පවත්වන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.