fbpx
තවත්
    මුල් පිටුවඅනාවරණඔබත් Porn බලන්න ඇබ්බැහි වෙලාද? - මේ විද්‍යාත්මක විග්‍රහය අනිවාර්යයෙන්ම කියවන්න

    ඔබත් Porn බලන්න ඇබ්බැහි වෙලාද? – මේ විද්‍යාත්මක විග්‍රහය අනිවාර්යයෙන්ම කියවන්න

    Porn හෙවත් අසභ්‍ය වීඩියෝ නැරඹීම වර්තමාන සමාජය තුළ ඉතා සුලබව දැකිය හැකි සංසිද්ධියක් බවට පත්වී හමාරය.

    නරඹන්නා තුළ ලිංගික උද්දීපනයක්, පිබිදීමක් ඇති කරන හා ඒ ඔස්සේ ලිංගික සංතෘප්තියක් ලබා දෙන කෙටි වීඩියෝ  හෝ  චිත්‍ර පටයක් වශයෙන් පවතින දර්ශනයන් අසභ්‍ය වීඩියෝ හෝ  adult entertainment pornographic videos වශයෙන් සරල ලෙස නිර්වචනය කිරීමට පුළුවන. මෙම වීඩියෝ දර්ශනයන් විවිධාකාර වශයෙන් කාණ්ඩකරණයට ලක් කොට ඇති අතර විෂම ලිංගික ,සම ලිංගික, හෝ බහු ලිංගික යනාදී වශයෙන් මෙන් ම වයස අනුව, ශරීර ස්වභාවය අනුව, සුදු හා කලු වශයෙන් හමේ පැහැය අනුව හෝ වෙනත් විවිධාකාර වූ කාණ්ඩයන් (Categories) යටතේ දිගු හෝ කෙටි වීඩියෝ වශයෙන් අන්තර්ජාලය තුළ හඳුනා ගැනීමට හැකි ය.

    පර්යේෂණ වලින් හෙළි වී ඇති පරිදි 2010 වර්ෂය වන විට සමස්ත අන්තර්ජාලයෙන් 40%කට වැඩි ප්‍රමාණයක්  සමන්විත වී තිබුණේ porn වීඩියෝ වන අතර එයින් වසර දහයක් ගත වූ වර්තමානය වන විට එහි තත්ත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම පහසුය. 2019 වර්ෂයේ දී පමණක් Porn hub නම් වෙබ් අඩවිය තුළ පමණක් අලුතින් ඇතුළත් කරනු ලැබූ (Upload)  වීඩියෝ සංඛ්‍යාව  මිලියන 6.83  කි. එම ප්‍රමාණය නරඹා අවසන් කිරීමට නම් දවසේ පැය 24 පුරා ම නැරඹුවද  වසර 169  ක් පුරා  නැරඹිය යුතුය.  

    ශාරීරිකව හා මානසිකව සිදුවන හානි

    සාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම් වලින් ඔබ්බට ගිය අසාමාන්‍ය හෝ විකෘති ලිංගික ක්‍රියාවන් නැරඹීම තුලින් ලිංගිකත්වය හා ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධ ව සංජානනමය හා ආකල්පමය වශයෙන්  විකෘතිතාවයන් ගොඩනැගීමට හැකි අතර  ඒ තුළින් විකෘති ලිංගික ක්‍රියා සදහා සඳහා යොමුවීමේ  වැඩි අවදානම් සහගත තත්ත්වයක් පෙන්නුම් කරයි. එසේ ම ලිංගිකත්වය තුළ ආවේගකාරී භාවය, විකෘති ලිංගික ක්‍රියාවන් හා පරපීඩක කාමුක තත්ත්වයන් ගොඩ නැගීමට ඉඩ ඇත අතරම ලිංගිකත්වය යන්න ට ගොඩ නැගෙනුයේ ප්‍රකෘතිය ඉක්මවා ගිය සංජානනයකි.

    කාන්තාවන් හා දරුවන් හුදු තෘප්තිය ලබා දෙන වස්තූන් ලෙස පමණක් දැකීමට  අසභ්‍ය වීඩියෝ දර්ශන නරඔන්නට ඇබ්බැහි වූ බොහෝ පුද්ගලයන් පෙළඹෙයි. එය මෙම වැරදි සංජානනය නිසා ඇතිවන තත්ත්වයකි. ලිංගික ක්‍රියාකාරකමක් යනු ආදරය විශ්වාසය හා  ගෞරවය මත පදනම් වූ ක්‍රියාවලියක් නොව හුදු ලිංගික සන්තර්පණය සඳහා පමණක්ම වූවක් බව වීඩියෝ දර්ශන ව නැරඹීම තුලින් සංජානනය වීම ඊට හේතුවයි. මෙසේ විකෘති මානසික තත්ත්වයන් ඇති වීම පමණක් නොව විවිධාකාර වූ ශාරීරික රෝගයන් හෝ අඩපණතාවයන් හෝ  අක්‍රමතාවන් ඇති වීමටද අසභ්‍ය වීඩියෝ දර්ශන නැරඹීමේ ඇබ්බැහිතාවය සෘජුවම බලපායි.

    විශාලලෙස අසභ්‍ය වීඩියෝ නැරඹීම තුලින් මොලය මගින් ස්‍රාවය කරනු ලබන රසායනිකයන් අවශ්‍ය ප්‍රමාණයට වඩ ශ්‍රාවය  වීම තුළින් සිරුරේ රසායනික සංයුතිය  අසමතුලිත වීම හරහා   ශාරීරික ගැටලු, රෝග හෝ වෙනත් සංකූලතාවයන් ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතී .එසේ ම දිගින් දිගටම වීඩියෝ පට නැරඹීම හරහා ස්වයං වින්දනයේ යෙදීම හෝ  වෙනත් ක්‍රියා තුළින් ලිංගික තෘප්තිය ලැබීමට ඇබ්බැහි වීම සිදුවන බැවින් තම විවාහක සහකරුවන් හා ලිංගික ක්‍රියාවේ නිරත වීම තුළින්  සාමාන්‍ය පරිදි ලිංගික තෘප්තිය  ලබා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වීම සිදුවේ. මේ තුළින් තම සහකරුවා හෝ සහකාරිය සමග තෘප්තිමත් සාමාන්‍ය ලිංගික ජීවිතයක් ගත කිරීමේ හැකියාව හා අවස්ථාව ඔවුන්ගෙන් ගිලිහී යයි.

    සංවේදීතාවය අඩු වීම

    අසභ්‍ය වීඩියෝ දර්ශන වලට ඇබ්බැහි වීම තුළින් තම සහකරුවන්  පිළිබඳව පවතින  ආකර්ෂණය හා සංවේදී තාවය අඩු වන බවත් ඔවුන් හා සමඟ පවතින බැඳීම අඩු තත්ත්වයකට පත්වන බවත් පර්යේෂණ මගින් අනාවරණය වී ඇති අතර  ඒ තුළින් සබඳතා බිඳී යාම හෝ දික්කසාදය දක්වා මඟ පෙන්වන බව තව දුරටත්තහවුරු වී ඇත.

    යථාර්තයෙන් වෙනස් වූ වැරදි සංජානනයක් ගොඩනැගීම.

    අසභ්‍ය වීඩියෝවක් යනු යථාර්තයෙන් බැහැර වූ සාමාන්‍ය නොවන, අධ්‍යක්ෂකවරයෙකුගේ අවශ්‍යතාවය මත ගොඩනගන ලද රංගනයකි. එය සඳහා යොදා ගන්නා නළු නිළියන් අධ්‍යක්ෂක වරයාට අවශ්‍ය ආකාරයට වෙස් ගැන්වීමක් සිදු කොට, ප්ලාස්ටික් සැත්කම් හෝ වෙනත් ක්‍රමවේදයන් උපයෝගී කරගනිමින් කර ගනිමින් විශාලනය කරන ලද හෝ සකසන ලද ලිංගික අවයව සහිත වන අතර ශුක්‍ර පිටවීම පමාකරන ආලේපනයෙන් හෝ ඖෂධයන් ලබා දී පැය ගණනක් පුරා රූප ගත කරනු ලබන මෙම දර්ශනයන් පසුව සංස්කරණය කොට විනාඩි ගණනක වීඩියෝවක් බවට පත් කරනු ලැබේ.

    ඇබ්බැහි කාරී ලෙස මෙබඳු දර්ශන නිතර නිතර නැරඹීම තුලින් වීඩියෝ දර්ශනය තුළ රඟපාන නළුවාගේ හෝ නිළියගේ ලිංගික අවයවයන්හි විශාලත්වය  මෙන් ම නොයෙකුත් ලිංගික ඉරියව් ආදිය සැබෑවක් ලෙස ම සංජානනය කරගන්නා පුද්ගලයා  තමා ගේ අවයවයන් හා සසඳා බැලීම තුළින්   හා එම ඉරියව් තුළින් ප්‍රකෘතිය හා විකෘතිය යනු කුමක්ද යන්න තෝරා බේරා ගැනීමට අපොහොසත් වන අතර ඒ තුළින් දැඩි ලෙස මානසික පසුබෑමකට  මෙන් ම ව්‍යාකූලත්වයකට ලක් වන අතර එය සෘජුවම තමාගේ  ලිංගික ක්‍රියාකාරීත්වයට හා තමාගේ සහකරු හෝ සහකාරිය සමග ඇතිවන ලිංගික ජීවිතයට බලපානු ලබයි. මේ තුළින් ලිංගික  අප්‍රාණිකත්වය හෝ වෙනත් අපගමන තත්වයන් තත්ත්වයන් ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් හා අවදානමක් මතු වේ.

    ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පැතිරීමේ වැඩි අවදානමක් මතු වීම.

    බොහෝවිට අසභ්‍ය වීඩියෝවන්හි අනාරක්ෂිත ලිංගික හැසිරීම්, ඉරියව් යොදාගනු ලබන අතර ආරක්ෂාකාරී නොවන ලිංගික චර්යාවන් වැඩි වශයෙන් හුවා දැක්වේ.මෙම චර්යාවන් අනුකරණය  කිරීමට බොහෝ නරඹන්නන් යොමුවන අතර  උපත් පාලන කොපු හෝ වෙනත් ආරක්ෂිත ක්‍රමවේදයක් වලින් තොරව සාමාන්‍ය ලිංගික හැසිරීම් වලින් ඔබ්බට ගිය හැසිරීම් සහිතව ලිංගික ක්‍රියාවන්හි නිරත වීම හේතුවෙන් HIV වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින බව බටහිර පර්යේෂකයන් විසින් අනාවරණය කරගෙන ඇත.

    ලිංගික අපගමන ඇතිවීම.

    ප්‍රකෘතිය ඉක්මවා ගිය විකෘති ලිංගික හැසිරීම් හා ඉරියව් මනසට සංජානනය වීම හා ඒවා අත්හදා බැලීමට යාම තුළින් නොයෙකුත් අන්දමේ ලිංගික අපගමන තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් ඇති බව මනෝ විද්‍යාඥයන් විසින් අනාවරණය කරගෙන ඇත.

    ප්‍රචණ්ඩකාරී  තත්ත්වයන් හා අපයෝජන  සිදුකිරීම.

    අසභ්‍ය වීඩියෝ නැරඹීම හරහා  තම සහකරුවා පීඩාවට පත් කිරීම  තුළින් තෘප්තියක් ලැබීම වැනි විකෘති මානසික තත්ත්වයන් ගොඩනැගීම හරහා ප්‍රචණ්ඩකාරී හැසිරීම් වලට පෙළඹීමේ  ප්‍රවණතාවයක් පෙන්නුම් කරන අතර තම සහකරුවා ඒ තුළින් කායිකව හා මානසිකව අපයෝජනයට පත් වීමක් සිදු කෙරේ.

    ඔබ porn videos බැලීමට ඇබ්බැහි  වී ඇති බව හඳුනා ගන්නේ කෙසේද?

    Porn videos නැරඹීම හා ඊට ඇබ්බැහි විම තුළින්  ඇති වන ශාරීරික හා මානසික සෘණාත්මක බලපෑම් සම්බන්ධව ඉහතින් හඳුනා ගත හැකි වන අතර අසභ්‍ය දර්ශණ අඩංගු වීඩියෝ බැලීමේ ඇබ්බැහිතාවයක් තමා තුළ පවතීද යන්න පිළිබඳ ව හඳුනා ගැනීමට පහත නිර්ණායකයන් යොදා ගැනීමට පුළුවන.

    1. Porn videos බැලීම ට ඇති අසීමිත ආශාව

    Porn videos බැලීමේ ඇබ්බැහිතාවේ ඇති ප්‍රධානම ලක්ෂණය වන්නේ ඒවා බැලීමට ඇති අසීමිත ආශාව හා නිතර නිතර එම වීඩියෝ නැවත නැවතත් බැලීමට ඇති ආශාවයි .දින හතක්  එනම් පැය 168ක්  පුරා එකදු porn  වීඩියෝවක් වත් නො බලා සිටීමට ඔබට නොහැකි නම්,  ඔබ porn videos වලට ඇබ්බැහි තත්ත්වයකට පත්ව සිටින බව අවබෝධ කර ගත යුතුය .

    2. Porn  සම්බන්ධ ව ඇති උනන්දුව වෙනස් වීම හා ඒ තුළින් ඇති කරගනු ලබන ලිංගික සන්තෘප්තියේ සීමාව(Demand) වැඩි වීම .

    මුල් කාලයේ දී  නිරුවත් ඡායාරූපයක් හෝ කෙටි වීඩියෝවක් මගින්  තෘප්තියට පැමිණුන ද  porn  වීඩියෝ බැලීම සඳහා ඇබ්බැහි තාවයට පත් වූ පසු  එකම වර්ගයේ සරල වීඩියෝ වලින් නොසෑහේ. විවිධාකාර කාණ්ඩ වලට අයත් හා බරපතළ ගනයේ ලිංගික ක්‍රියා සිදු කෙරෙන ප්‍රකෘතිය ඉක්මවා ගිය වීඩියෝපට නැරඹීම දක්වා උනන්දුව හා අවශ්‍යතාවය වෙනස් වන අතර ඒ ඇසුරින් ලබා ගන්නා වූ ලිංගික තෘප්තියේ සීමාවන් ද  වැඩි වේ. එක් වීඩියෝවක් නරඹමින් සිටින අතරතුර එය තමාගේ අවශ්‍ය තාවයට නොසෑහෙන බව අවබෝධ වී වෙනත් වීඩියෝවක් නැරඹීමට පෙළඹෙන අතර  තමා නරඹමින් සිටින කාණ්ඩය හැර වෙනත් විවිධාකාර කාණ්ඩ යටතේ එන  වීඩියෝ පට  දැනට නරඹමින් සිටින වීඩියෝවට වඩා ආකර්ෂණීය වන  බව හැඟී යයි .

    3. Porn වීඩියෝ නැරඹීම කේන්ද්‍ර කර ගනිමින් මානසික ප්‍රේරකයන් (Triggers) ගොඩනඟා ගැනීම .

    යම් කිසි පුරුද්දක්  වටා ගොඩනැඟුණු බාහිර සංසිද්ධියක් මානසික ප්‍රේරකයක් හෙවත් Trigger එකක් වශයෙන් හඳුනා ගැනීමට පුළුවන. Porn වීඩියෝ නැරඹීම සඳහා එබඳු මානසික ප්‍රේරකයක් ගොඩනඟා ගැනීම  Porn වීඩියෝ බැලීමේ ඇබ්බැහිතාවේ තවත් එක් ලක්ෂණයකි .

    උදාහරණයක් ලෙස ගත හොත්  රාත්‍රි නින්දට යෑමට පෙර අනිවාර්යයෙන්ම porn වීඩියෝවක් නරඹා ස්වයං වින්දනය කිරීම අත්‍යවශ්‍යම වන තත්ත්වයකට පත් වීමත් එසේ නොමැතිව  නිදා ගැනීමට නො හැකි වීම  මෙම තත්වයට හොඳ ම උදාහරණයකි .

    පාඩම් කිරීම හෝ වෙනත් එබඳු වැදගත් කටයුත්තක දී මානසික ඒකාග්‍රතාව ඇති කර ගැනීම සඳහා Porn වීඩියෝවක් බැලීම හෝ ඒ තුලින් ලිංගික තෘප්තියක් කරා යාම අත්‍යවශ්‍ය කරුණක් බවට ට පුරුදු වී සිටීම  මේ සදහා තවත් එක් උදාහරණයකි .

    මෙම තත්ත්වය porn videos නැරඹීමට ඇබ්බැහි තාවක් ඇතිවී ඇති බව හඟවන තවත් සාධකයකි .

    4. Porn වීඩියෝ නැරඹීම තුලින්  තමාට හානියක් සිදු වන බව දැන දැනත් ඒවා නැරඹීමට පෙළඹීම .

    Porn වීඩියෝ නැරඹීම තුලින් තමාගේ වෙනත් කටයුතු සඳහා යෙදිය යුතු වටිනා කාලය නාස්ති වී යන බවත් ඒ තුළින් තමාගේ ආර්ථිකමය හානියක් හා ශාරීරිකමය හෝ  තම සහකරුවා සමග පවතින සබඳතා සඳහා හානියක් වන බව දැන දැනත් නැවත නැවතත් නැරඹීමට පෙළඹීම porn addiction හි තවත්  ප්‍රධානතම  ලක්ෂණයකි.

    5. Porn  වීඩියෝ නරඹන අතරතුර බාධා කිරීම් සිදු වන විට අධික ලෙස කෝපයට පත්වීම හෝ නොසන්සුන් වීම.

    ඔබ Porn  වීඩියෝ නරඹමින් සිටින අතරතුරදී තම බිරිඳගේ හෝ දරුවෙකුගේ හෝ වෙනත් අයෙකුගේ යම් කිසි ක්‍රියාකාරකමක් හේතුවෙන් එම වීඩියෝ නැරඹීමට කිසි බාධා කිරීමක් සිදු වීමේදී ඔබ අධික ලෙස කෝපයට පත්වන්නේ නම්   හෝ අධික ලෙස නොසන්සුන් තාවයට පත් වන්නේනම් එය ඔබ Porn  වීඩියෝ බැලීම සඳහා  ඇබ්බැහි වී ඇති බව හඟවන තවත් සාධකයකි.

    මෙසේ porn වීඩියෝ නැරඹීම සඳහා ඇබ්බැහිතාවයට පත් වූ බව අවබෝධ කර කර ගැනීමෙන් අනතුරුව සිදු කළ යුතු පළමු දෙය වන්නේ තමන් එම ඇබ්බැහිතාවයට පත්ව ඇති බව අවබෝධ කර ගනිමින් ඉන් ඉවත්වීම සඳහා සුදුසු පියවරයන් ගැනීමයි. ඕනෑම ඇබ්බැහිතාවයක් පවතින පුද්ගලයෙකු එයින් මිදීම සඳහා වන අත්‍යවශ්‍යම සාධකය වන්නේ එම ඇබ්බැහිතාවයෙන්  ඉවත් වීම සඳහා  උනන්දුවක් තමා තුළ ඇති කර ගැනීම හා එය අඛණ්ඩව පවත්වා ගැනීමයි. Porn videos නැරඹීමේ  ඇබ්බැහිතාවයෙන් ඉවත් වීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් කිහිපයක් හඳුනා ගැනීමට පුළුවන.

    Porn videos නැරඹීමේ  ඇබ්බැහිතාවෙන් මිදීම සඳහා සිදු කළ යුතු මුල් ම පියවර වන්නේ ඒවා නැරඹීම සඳහා ඇතිවන මානසික ප්‍රේරණය(Trigger) කුමක්ද යන්න හඳුනා ගැනීමයි. මෙම Triggers පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර සුදුසුකම් හා මනා අත්දැකීම ලද ප්‍රවීණ වෘත්තිය මනෝ උපදේශකයකු වෙත යොමු වීමෙන් එම ප්‍රේරක සාධකයන් කුමක් දැයි යන්න ඉතා නිවැරැදිව හඳුනා ගැනීමට හැකි වන අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකර්මයන් හා ක්‍රම වේදයන් තුළින් Porn  වීඩියෝ නැරඹීමේ ඇබ්බැහි තාවයෙන් මිදීම සඳහා මනා මඟ පෙන්වීමක් ලබා දෙනු ඇත.

    Porn videos නැරඹීම සඳහා ඇබ්බැහි තාවයක් තමාට ඇති බව හඳුනා ගත් විට පොදුවේ එය නවත්වා ගැනීම සඳහා නිර්දේශ කළ හැකි  ක්‍රම වේදයක් Addiction braking stratergy මනෝ වෛද්‍යවරුන් හා මනෝ උපදේශකවරුන් විසින් පහත පරිදි නිර්දේශ කොට ඇත.

    ඕනෑම ක්‍රියාවක් සිදු කිරීමට පෙර එය සැලසුම් කිරීම මොලය මගින් සිදු කෙරේ. Porn videos නැරඹීමේ ක්‍රියාවලියත් ඒ පරිදිම මොලය  මගින් සැලසුම් කිරීම  සිදු කෙරේ. උදාහරණයක් ලෙස ගත හොත් රාත්‍රී නින්දට පෙර අනිවාර්යෙන්ම porn වීඩියෝ නැරඹීම  පුරුද්දක් වශයෙන් සිදු කරයි නම්, අද දින නරඹන්නේ කුමන වර්ගයේ වීඩියෝවක් ද, කුමන ක්‍රියාකාරකම් අඩංගු වීඩියෝවක් ද හා බිරිඳ නින්දට ගිය පසු හෙඞ්ෆෝන් ගසාගෙන කිසිවකුට නෑසෙන පරිද්දෙන් එම වීඩියෝ නැරඹීම පිළිබඳව මොලය මගින් සැලසුම් කරනු ලබයි. මෙය මොළය තුළ සිදුවන  රසායනික ක්‍රියාවලියකි. ඇබ්බැහිය නතර කිරීම සඳහා සිදු කළ යුත්තේ මෙම රසායනික ක්‍රියාවලිය නතර කිරීමක් හෝ එම රසායනික ක්‍රියාවලිය වෙනත් දෙයක් සඳහා යොමු කිරීමයි. එසේ එම රසායනික ක්‍රියාවලිය එක් වරම වෙනස් කිරීම ඉතා අසීරු කටයුත්තක් වුවද මෙය ක්‍රම ක්‍රමයෙන් කාලය රැගෙන සිදු කළ යුත්තකි.

    Young man watching adult videos on cellphone, his wife sleeping in bed

    පර්යේෂණ වලින් අනාවරණය කර ගෙන ඇති පරිදි ඕනෑම ඇබ්බැහි තාවයක් නතර කර ගැනීම සඳහා දින 18-250 අතර කාලයක් ගත වේ.porn addiction  නතර කර ගැනීම සඳහා ද මෙම කාල වකවානුව වලංගු වන අතර  සාමාන්‍යයෙන් මනෝ විද්‍යාඥයන්ගේ මතය වන්නේ porn ඇබ්බැහි තාවය දින 30-60 අතර කාලයක්  තුළ සාර්ථක ක්‍රමවේද හා ක්‍රියාමාර්ග ක්‍රියා මාර්ග භාවිතය තුළින් නතර කළ හැකි බවයි .

    Porn videos නැරඹීමේ  ඇබ්බැහිය නතර කර ගැනීම සඳහා 30 days no porn challenge

    මේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සිදු කිරීමට පුළුවන.

    1. 30 days no porn challengeඑක දිගට දින තිහක් porn videos නොබලා සිටීම.

    එක දිගට දින 30ක් පුරා කිසිදු porn වීඩියෝවක්  නො බලා සිටීමට දැඩි ලෙස අධිෂ්ඨාන කරගෙන  එකදු වීඩියෝවක් වත් නොබලා සිටීම. මෙය මුලදී ඉතා ඉතා දුෂ්කර කාර්යයක් වනු ඇත. එහි දී නිරන්තරයෙන් සිහි කළ යුත්තේ මා මේ සිදු කරන්නේ සදාකාලික ව නො ව  දින 30 ක් පමණයි යන්නයි. porn සදහටම නැවැත්වීමේ ක්‍රියාවලිය සඳහා මුල් කාලීනව මොළය විසින් අවකාශ ලබා නොදෙනුයේ එය පුරුද්දක් බවට පත් වී ඇති බැවිනි. මේ කාල සීමාව තුළ porn වීඩියෝ නැරඹීමේ අවශ්‍යතාව මතු වන සෑම විටකදීම සිහි පත් කළ යුත්තේ “දවස් තිහක් කියන්න ඉතාම කෙටි කාලයක්,  දවස් 30 සම්පූර්ණ වුන සැනින් ඉතා හොඳ වීඩියෝවක් බැලීමට මට අවස්ථාව ඇත”යන්නයි. එසේ සිතා ඒ මොහොතට porn videos බැලීමට ඇති වන අධික ආශාව යටපත් කර ගැනීම සුදුසුය.

    දවස් 30 අවසන් වූ පසු එක් වීඩියෝවක් පමණක් බැලීම අවශ්‍ය නම් සිදු කළ හැකිය. එසේ බැලීම මගින්  එය දවස් තිහක් පුරා සිදු කළ කැපකිරීම වෙනුවෙන් මොළයට ලබා දෙන ලබන තෑග්ගක් වනු ඇත. (reward) මොළයට මේ අයුරින් reward ලබාදීම තුළින් brain review කිරීමක් සිදු කළ හැකි වන අතර එහි දී මොලය  සාමාන්‍යයෙන් හැසිරෙන රටාව  වෙනස් කිරීමක් සිදු කර මෙතෙක් කල් නරක ඇබ්බැහියක් වෙනුවෙන් මොළය විසින් වැය කර ඇති ශක්තිය වෙනත් දෙයක් සඳහා යොමු කිරීමට ඒ තුළින් හැකි වේ .එහි අවසන් ප්‍රතිඵලය වන්නේ පෙර කී නරක පුරුද්ද  මොළය මගින් ඉබේම Replace කිරීමයි.

    2. 30 New things challenge – Porn videos  බැලීම වෙනුවට මෙතෙක් උත්සාහ කොට නැති නව  දේවල් 30 ක් අත් හදා බැලීම

    මෙහි දී 30 new things challenge යොදාගැනීමට පුළුවන. ඊළඟ මාසයේ  දින 30 තුළ දී   තමන් විසින් මෙතෙක් සිදු කර නොතිබූ  කඳු නැගීම, චාරිකා යාම, ඡායාරූපකරණය, නව කෑම වට්ටෝරු අත්හදා බැලීම, සාප්පු සවාරි යාම වැනි තමන් කැමති මෙතෙක් උත්සාහ කොට නොතිබූ නොයෙකුත් වෙනත් දේවල් උත්සාහ කිරීම සිදු කළ යුතු අතර ඒවා පසු කාලීනව නරක ඇබ්බැහියක් බවට පත් නො වන පුරුදු විය යුතු ය.

    මෙ වැනි නව ක්‍රියාකාරකම් වලට මොලය අනුබල දෙනු ලබනු අතර ලැබුණු අතර ඒ තුළින් ලබන සතුට තුළින් මොලයේ ඩොපමීන්    එනම් සතුට ලබා දෙන හෝමෝන නිෂ්පාදනය වීම වැඩිවීම තුළින් porn addiction  වලට මුලින් මොළය මගින් ලබාදී තිබු අවධානය වෙනස් වී එම අවධානය වෙනත් කටයුතු සඳහා යොමු වේ. ඒ තුළින් phone addiction  ඉවත් වී යයි .

    මෙම දින 30 අභියෝගය  සාර්ථක කර ගැනීම සඳහා තමන් හුදෙකලා වීම හා අලස ව සිටීම හැකිතාක් අවම කොට  තමා ගේ දිනය, නිශ්චිත කටයුතු වලින් කාර්ය බහුල වීම හා මිතුරන්, සහ කරුවා හෝ පවුලේ අය සමඟ නිරතුරු ව කාලය ගත කිරීම සිදු කිරීම  මගෙන් porn videos නැරඹීමේ පෙලඹීම අඩු කර ගැනීමට පුළුවන. එමෙන්ම porn වීඩියෝ නැරඹීමේ අවශ්‍යතාවය මතු වූ විට පොත් කියවීම ,ගීත ගායනය වාදනය හෝ TV Series, චිත්‍රපට නැරඹීම වැනි දේ තුළින් එය මගහැර සිටීමට උත්සාහ කළ යුතු ය. එසේම  porn videos නැරඹීමේ ඇබ්බැහි තාවයෙන් මිදීමේ අවශ්‍යතාව අඛණ්ඩව පවත්වා ගත යුතු අතර  තමා ගේ සහකරුට හෝ සහකාරියට  මෙම ගැටළුව පිළිබඳව තේරුම් කර දී ඔහුගේ හෝ ඇයගේ සහාය ද මේ ක්‍රියාවලිය සඳහා ලබා ගන්නේ නම් මෙම ක්‍රියාවලිය වඩාත් සාර්ථක වනු ඇත.

    ප්‍රවීණ මනෝ උපදේශිකා ආර්. එම්. සංජීවනී සෙනෙවිරත්න

    සාම විනිසුරුවරියක් වන ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ උපදේශන මනෝවිද්‍යාව සහ මනෝ විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාවක් ඇතුළුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති ක්‍රමය පිළිබඳ විශේෂ උපාධියක්ද හදාරා ඇත. මත්ද්‍රව්‍ය ඇබ්බැහි තාවය පිලිබඳ උපදේශනය, විශේෂ පුහුණු මෙන්ම ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරීනිය ලෙස කටයුතු කරයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ප්‍රවීණ මනෝ උපදේශිකා ආර්. එම්. සංජීවනී සෙනෙවිරත්න
    සාම විනිසුරුවරියක් වන ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ උපදේශන මනෝවිද්‍යාව සහ මනෝ විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාවක් ඇතුළුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති ක්‍රමය පිළිබඳ විශේෂ උපාධියක්ද හදාරා ඇත. මත්ද්‍රව්‍ය ඇබ්බැහි තාවය පිලිබඳ උපදේශනය, විශේෂ පුහුණු මෙන්ම ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරීනිය ලෙස කටයුතු කරයි.

    1 Comment

    ඔබේ අදහස් දක්වන්න.