fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාව ණය හිමියන් සමඟ සාකච්ඡා වටයක් කල්දමයි

    ශ්‍රී ලංකාව ණය හිමියන් සමඟ සාකච්ඡා වටයක් කල්දමයි

    • ‘කිසිදු ණය හිමියෙක් සහය දෙන්න බෑ කියලා දන්වා නෑ’

     

    ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමඟ රජය පැවැත්වීමට මුලින් බලාපොරොත්තු වූ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා වටයක් කල් දමා තිබේ.

    මුදල් රාජ්‍ය අමාත්‍යවරයා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල්දැමුණේ මෙරට ණයහිමියන් විසින් ඉල්ලා සිටින පැහැදිලි කිරීම් සැපයීමට මහ බැංකු සහ භාණ්ඩාගාර නිලධාරීන්ට ඉඩ සැලසීම සඳහා බවයි.

    අමෙමරිකානු ඩොලර් බිලියන 2.9ක මුල්‍ය ඇපකරයක් ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ මෙරට රජය විසින් සාකච්ඡා නිල වශයෙන් ආරම්භ කළේ පසුගිය සැප්තැම්බරයේ ය.

    එහෙත් මෙම මුදල් ලබාගැනීමට පෙර චීනය, ජපානය සහ ඉන්දියාව ඇතුළු ප්‍රධාන ණය හිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූල්‍ය සහතික ලබා ගැනීම අවශ්‍ය වේ.

    ‘විවිධ ණය හිමියන්ට පැහැදිලි කරගැනීමට අවශ්‍ය විවිධ ගැටලු තිබෙනවා. එබැවින් මෙම පැහැදිලි කිරීම් ප්‍රථමයෙන් දැනුම් දී පසුව තවත් සාකච්ඡා වටයක් සඳහා නව දින නියම කිරීමට තීරණය වුණා’ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ උපුටා දක්වමින් රොයිටර් පුවත් වාර්තා කරයි.

    කෙසේවෙතත් නව සාකච්ඡා වටය සඳහා ‘දිනයන් තවම තීරණය කර නැත.’ යනුවෙන් ද ඔහු පවසා ඇත.

    රාජ්‍ය අමාත්‍යවරයා ණය හිමියන්ට අවශ්‍ය වී ඇති පැහැදිලි කිරීම් මොනවාද යන්න හෝ ඔවුන් සහ ශ්‍රී ලංකාවේ මහ බැංකුව සහ භාණ්ඩාගාර නිලධාරීන් අතර හරියටම සාකච්ඡා කරන්නේ කුමක්ද යන්න පිළිබඳ විස්තර නොකළ බව ද එම මාධ්‍ය වාර්තාවේ දැක්වේ.

    දැනට සැලසුම් කර ඇති සිව් අවුරුදු මුල්‍ය අරමුදල් වැඩසටහන සඳහා දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේ අනුමැතිය ලබාගැනීමට ශ්‍රී ලංකාව මීට පෙර ඉලක්කයක් තබා තිබුණි.

    “අපි මූල්‍ය සහතික කිරීම් කෙරෙහි තමයි වැඩි අවධානය යොමු කරන්නේ. මේ වන විට කිසිදු ද්විපාර්ශ්වික ණය හිමියෙකු අපට සහය නොදක්වන බව දන්වා නෑ.” පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා “අපට ඉලක්කයක් තියෙනවා. දෙසැම්බර් මාසයේදී එය සපුරාලීමට අපි දැඩි උත්සාහයක් දරනවා.” යනුවෙන් ද පැවසීය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න