fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සීනි බද්දෙන් රජයට පාඩුවූ බිලියන 16න් බදු අයකරගන්න තීන්දුවක්

    සීනි බද්දෙන් රජයට පාඩුවූ බිලියන 16න් බදු අයකරගන්න තීන්දුවක්

    ආනයනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරීම හේතුවෙන් රජයට අහිමි වූ රුපියල් බිලියන 16ක මුදලට අදාළ ආදායම් බදු අයකර ගැනීමට සූදානම් බව වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    එම මුදලෙන් 24%ක් ආදායම් බදු ලෙස අදාළ සමාගම්වලින් අයකර ගැනීමට දැනට පවතින නීතිය යටතේ හැකියාව ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    අදාළ සීනි බදු අඩු කිරීම හේතුවෙන් ඇති වූ තත්ත්වය පිළිබඳ විගණකාධිපති වාර්තාව පදනම් කර ගනිමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා අද (09) මේ බව කියා සිටියේය.

    2020 වසරේ ඔක්තෝබර් මස 14 වැනි දින සිට මාස තුනක කාලයක් ක්‍රියාත්මක වන පරිදි ආනයනික සීනි කිලෝ ග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 50ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පැවැති මිල ඉහළ යාමේ තත්ත්වය පාලනය කිරීම සඳහා ශත 25 දක්වා පහත දැමිණි.

    එහෙත් අදාළ බඳු අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා නොදී ආනයනකරුවන් අත තබා ගැනීමෙන් රජය කැප කළ ආදායම රුපියල් කෝටි 1776 ක් ලෙස ගණන් බලා ඇත.

    එසේ ආදායම් තමා අත රඳවා ගත් සමාගම් 10ක් හඳුනාගෙන ඇති අතර ඉන් එක් සමාගමක් සමස්ත සීනි ප්‍රමාණයෙන් 45% ක් ආනයනය කර තිබේ.

    පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව මෙම බදු සහනය හිමි වූ කාලය තුළ පමණ අදාළ සමාගමේ සීනි ආනයනය 1220% ගුණයකින් ඉහළ ගොස් ඇතැයි විගණකාධිපති වාර්තාව මගින් පෙන්වා දෙයි.

    දේශීය ආදායම් කොමසාරිස්වරයාට ඇති බලතල ප්‍රකාරව අදාළ බදු අයකර ගැනීමේ කටයුතු සිදු කිරීමට අපේක්ෂිත බවත් ඊට අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමට රජය සූදානම් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    පවතින නීති තත්ත්වයන් යටතේ අය කර ගත හැකි මෙම මුදල අය කර ගැනීමට සහය දක්වන ලෙස පාර්ලිමේන්තුවේ සියලු පාර්ශ්වවලින් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

    සියඹලාපිටිය මහතා වැඩි දුරටත් කියා සිටියේ ඉදිරියේ දී මෙවැනි හදිසි බදු අඩු කිරීම් පිළිබඳ තීරණ සියලු පාර්ශ්වය සමග සාකච්ඡා කිරිමකින් තොරව සිදු නොකිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරනු ඇති බවයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.