fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හරි පාරෙන් සල්ලි එවන රටවිරුවන්ට විදුලි වාහන ගන්න තවත් සහන

    හරි පාරෙන් සල්ලි එවන රටවිරුවන්ට විදුලි වාහන ගන්න තවත් සහන

    නියමිත ක්‍රමවේදයට අනුව මෙරටට මුදල් එවන විදෙස්ගත ශ්‍රමිකයන්ට විදුලි වාහන ආනයනය කිරීමේ බලපත් ලබාදීමේ ක්‍රමවේදය යටතේ තවදුරටත් පහසුකම් සැලසීමට අමාත්‍ය මණ්ඩලය පියවර ගෙන තිබේ.

    ඒ අනුව 2023.04.30 දින දක්වා හෝ වාහනයක් ආනයනය කිරීම සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරනු ලබන දින දක්වා ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50%ක් දක්වා වන CIF වටිනාකමින් යුත් රෝද දෙකක් සහිත විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට තීරණය කර ඇත.

    එමෙන්ම 2022.05.01 දින සිට 2023.12.31 දින දක්වා මෙරටට ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50%ක් දක්වා වන CIF වටිනාකමින් යුත් රෝද හතරක් සහිත විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා ද අවසර ලබාදේ.

    එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් හට නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම දිරිගැන්වීමේ අරමුණින් මෙලෙස විදුලි වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ක්‍රමයක් හදුන්වාදෙන ලදී

    ඒ අනුව, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කර ඇත.

    මේ සඳහා සුදුසුකම් ලබන විගමනික ශ්‍රමිකයන් හට ඇමෙරිකානු ඩොලර් 25,000ක උපරිමයකට යටත්ව රෝද දෙකකින් යුත් විද්‍යුත් වාහනයක් ද, ඇමෙරිකානු ඩොලර් 65,000ක උපරිමයකට යටත්ව රෝද හතරකින් යුත් පූර්ණ විද්‍යුත් වාහනයක් ද ආනයනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇත.

    විගමනික ශ්‍රමිකයන් විසින් එතෙරදී උපයනු ලබන විදේශ විනිමය ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීම තවදුරටත් දිරිගැන්වීමේ අරමුණින් කම්කරු හා විදේශ රැකියා ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ඉහත පියවරයන් යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ඊයේ ලබා දී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.