fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාකිස්ථාන ගංවතුර බැහැලා යන්න මාස 6ක් වත් යාවි

    පාකිස්ථාන ගංවතුර බැහැලා යන්න මාස 6ක් වත් යාවි

    පාකිස්ථානයට බලපා ඇති ගංවතුර සම්පූර්ණයෙන්ම බැස යාමට තවත් මාස හයකවත් කාලයක් ගතවනු ඇතැයි එරට බලධාරීණ් සඳහන් කරයි.

    ඒ අනුව මෙම තත්ත්වයත් සමඟ ජලයත් සමඟ බෝවීමේ අවදානමක් පවතින රෝග පැතිරයාමේ හැකියාවක් පවතින බවටද පාකිස්ථාන සෞඛ්‍ය බලධාරීන් අනුතුරු ඇඟවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඩෙංගු සහ කෙලරාව සීඝ්‍රයෙන් පැතිර යාමට හැකියාව පවතින බවද බලධාරීන් පෙන්වා දෙයි.

    වාර්තාගත මෝසම් වැසි සහ පකිස්තානයේ උතුරු කඳුකර ප්‍රදේශවල ග්ලැසියර දියවීම හේතුවෙන් ඇති වූ ගංවතුර මේ වන විට පුද්ගලයින් 1,400 කට වඩා වැඩි පිරිසකගේ ජීවිත බිලිගෙන ඇති අතර තවත් මිලියන 33 කට වැඩි පිරිසකට බලපෑම් එල්ල වී ඇත.

    නිවාස, මාර්ග, දුම්රිය මාර්ග, පශු සම්පත් සහ බෝග වලට මෙම ගංවතුර හේතුවෙන් විශාල හානියක් සිදුව තිබේ. මෙම ගංවතුර තත්ත්වයෙන් ඇති වූ හානිය මේවන විට ඇමරිකානු ඩොලර් බිලියන 30 අධික වනු ඇති බවට අපෙක්ෂා කරයි.

    “රජයේ සහ පෞද්ගලික රෝහල්වලට දිනපතා රෝගීන් සිය දහස් ගණනක් වාර්තා වන නිසා කරච්චි නගරයේ ඩෙංගු ව්‍යාප්තියක් දක්නට ලැබේ. පසුගිය වසරට වඩා මේ වසරේ ඩෙංගු රෝගීන් 50% කින් ඉහළ ගොස් තිබේ. රට පුරා කඳවුරුවල පුද්ගලයින් 584,246 ක් සිටින අතර, මෙම සෞඛ්‍ය අර්බුදය පාලනය නොකළ හොත් එය විනාශයක් විය හැකිය, ” යැයි පකිස්තානයේ කාලගුණ අමාත්‍ය ෂෙරී රෙහ්මාන් සඳුදා පැවසීය.

    සහල් සහ බඩ ඉරිඟු වැනි ප්‍රධාන භෝගවලින් 70% ක් පමණ විනාශ වීම හේතුවෙන් පාකිස්ථානය මේවන විට දැවැන්ත ආහාර හිඟයකට මුහුණ දී සිටින බවත්, හදිසි “ආහාර, කූඩාරම් සහ ඖෂධ” අවශ්‍ය බවත් රෙහ්මාන් අනතුරු අඟවමින් පැවසීය.

    විශේෂයෙන් සින්ද් පළාතේ ඉන්දු ගංගාව ආශ්‍රිතව දැඩි බලපෑමට ලක් වූ ප්‍රදේශවල ගංවතුර ඉහළ යාම අවදානමක් පවතින බවත්, කාලගුණ විද්‍යා අනාවැකි අඟවන්නේ අඛණ්ඩ වර්ෂාපතනයක් සැප්තැම්බර් මාසය පුරාවටම පැවතිය හැකි බවයි.

    ඒ අනුව සඳුදා දින ප්‍රකාශයක් නිකුත් කරමින් සින්ද් ප්‍රධාන අමාත්‍ය මුරාද් අලි ෂා කියා සිටියේ දිගු මෝසම් වර්ෂාව හේතුවෙන් ජලය බැසයාමත් මාසය තුනත් හයත් දක්වා කාලයක් දක්වා දීර්ඝ විය හැකි බවයි.

    මේ අතර පාකිස්ථානයේ විශාලතම මිරිදිය විල වන මන්චාර් සැප්තැම්බර් මුල සිට පිටාර ගලමින් පවතින බවත් ගංවතුර ජලය ගම් සිය ගණනකට සහ ලක්ෂයකට අධික පිරිසකට බලපා ඇති බවත් ඔහු පැවසීය.

    පකිස්ථාන රජය සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ගෝලීය දේශගුණික විපර්යාසයන් මගින් ඇතිවන අයහපත් කාලගුණික තත්ත්වයන් මෙම ගංවතුර තත්ත්වයට හේතුවී ඇති බවට පෙන්වා දී තිබේ.

    ඒ අනුව කාලගුණ විපර්යාස මැඩපවැත්වීමට වහාම එක්වන ලෙසද ජගත් මහ ලේකම්වරයා මෙහිදී ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබිණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.