fbpx
තවත්
    මුල් පිටුවspecialසෙල්ලිපියක් අරන් ගිහින් ශිවලිංගයක් සවිකර වන්දනාමාන කළ පූසාරි

    සෙල්ලිපියක් අරන් ගිහින් ශිවලිංගයක් සවිකර වන්දනාමාන කළ පූසාරි

    ක්‍රිස්තු වර්ෂ 11 වන සහ 12 වන ශතවර්ෂවල මෙරට රජකම් කළ රජෙකු විසින්  ගම් නායකයෙකුට ගම්වරයක් ලබාදීමක් සම්බන්ධයෙන් සටහන්ව ඇති දෙමළ අක්ෂර සහිත සෙල්පියක් සහිත පුවරුවක්  2017 වසරේ දී හමුවන්නේ ත්‍රිකුණාමල මැකාසියර්  ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීමේදීය.

    එම සෙල්ලිපිය කෙරෙහි පුරාවිද්‍යා නිලධාරීන්ගේ පවා අවධානයට යොමු කළද ඒ ගැන නිසි ඇගයීමකට ලක් නොවී එය තැබෙන්නේ ක්‍රීඩාංගනය ආසන්නයේ පිහිටි සංඝමිත්තා විශාම ශාලා ගොඩනැගිල්ලෙහිය.

    එම ගොඩනැගිල්ල යුද්ධය පැවති සමයේදී පොලිස් මුරපොලක් ලෙස පවත්වාගෙන ගිය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයාගේ පාලනයේ පවතින එකකි.

    සෙල්ලිපිය සහිත පුවරුව එම ගොඩනැගිලෙහි තබන විට එහි පොලිස් මුරපොලක් නොවූ අතර එය පාළු ගොඩනැගිල්ලක් ලෙස පැවති බව කියති.

    නැවතත් එම ගොඩනැගිල්ලට පොලීසිය එන්නේ කොවිඩ් වසංගත සමයේදීය. පොලිස් නිලධාරීන්ගේ නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරමිනි. දැන් එම ගොඩනැගිල්ලෙහි සිටින්නේ එක් නිලධාරියෙක් පමණි. ඒ එම ගොඩනැගිල්ල දිස්ත්‍රික් ලේකම්වරයාට භාරදීමට ඇති බැවිණි.

    කෙසේ වෙතත් මෙම ගොඩනැගිල්ලෙහි තිබුණු සෙල් ලිපිය සහිත පුවරුව පසුගිය දිනවල එම ස්ථානයෙන් අතුරුදන්ව තිබුණි. ඒ  බව අනාවරණය වන්නේ වසර පහකට පසු එම සෙල්පිය සහිත පුවරුව ගැන පුරාවිද්‍යා නිලධාරීන්ගේ අවධානයකට යොමුවීමත් සමගිනි.

    සෙල්ලිපිය අතුරුදන්වීමත් සමඟ ඒ ගැන චෝදනාව එල්ලවන්නට වූයේ පොලීසියටයි. ඒ පොලීසියට භාරදී තිබුණු සෙල් ලිපිය අතුරුදන්ව ඇති බව කියමිනි. පොලීසිය නම් කියන්නේ මෙම සෙල්ලිපිය සහිත පුවරුව කිසිදු අවස්ථාවක පුරාවිද්‍යා නිලධාරීන් හෝ වෙනත් නිලධාරියෙක් පොලීසියට භාරදී නැති බවය. පොලීසිය එම ගොඩනැගිල්ලට එන විටත් තිබුණු එම සෙල් ලිපිය අතුරුදන්ව ඇත්තේද පොලීසිය එහි නැති අවස්ථාවකදීය.

    මෙම චෝදනාව පොලීසියට එල්ලවීමත් සමඟ පොලීසිය ඒ ගැන සොයා බැලීමට අමතකර නැත. එහිදී හෙළිවන්නේ කෝනේෂ්වරන් කෝවිලේ එම සෙල්ලිපිය සහිත පුවරුවට වැදුම් පිදුම් කරන බවය. ඒ එම සෙල්ලිපිය සහිත පුවරුවේ මැද ඇති සිදුරට ගලින් නිමකළ ශිව ලිංගයක් සවිකරය.

    වැඩිදුර සොයා බැලීමේදී පෙනී යන්නේ පූසාරිවරයෙක් විසින් සෙල් ලිපිය සහිත පුවරුව රැගෙන ගොස් එය පිරිසිදුකර එසේ වන්දනා මාන කිරීමට යොදාගෙන ඇති බවකි.

    පොලීසිය සෙල් ලිපිය සොයන බව දැනගැනීමෙන් පසු නැවතත් එය තිබූ තැනටම රැගෙන විත් දමා ඇත්තේ අද දහවල් කාලයේදීය.

    පොලීසිය මැදිහත්ව එම සෙල් ලිපිය පුරාවිද්‍යා බලධාරීන්ට භාරදීමට පියවර ගෙන ඇති අතර වසර 05ක් පුරාවට පැත්තකට දමා තිබුණු එම සෙල් ලිපිය දැන්  ඇත්තේ ත්‍රීකුණාමලය පුරාවිද්‍යා කෞතුකාගාරයේය.

    ඒ බව ත්‍රිකුණාමලය පුරාවිද්‍යා නිලධාරියා දැනුවත් කිරීමෙන් පසු ඔහු පැමිණ එය භාරගෙන පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කිරීමට රැගෙන ගිය බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    දෙමළ අක්ෂරයෙන් සටහන් තබා ඇති එම සෙල්ලිපිය රජකෙනෙකු ගම් නායකයෙකුට ගම්වරයක් ප්‍රධානය කරමින් ලබාදුන් සන්නසක් ලෙස සැළකෙන එකක් බව පුරාවිද්‍යා නිලධාරීන් සඳහන් කළ  බව ද එම නිලධාරියා පැවසීය.

    මෙම සෙල්ලිපිය හමුවී ඇත්තේ ත්‍රිකුණාමලය සංඝමිත්තා විශ්‍රාම ශාලාව ඉදිරිපිට පිහිටි මහජන ක්‍රීඩාංගනය 2017 වසරේ කළ සංවර්ධන කටයුත්තකදීය. එම සෙල්ලිපිය පුරාවිද්‍යා කෞතුකාගාරයකට රැගෙන යනවා වෙනුවට එය විශ්‍රාම ශාලා ගොඩනැගිල්ලෙහි අනාරක්ෂිතව දමා ගොස් තිබී ඇත.

    එම සෙල්ලිපිය තිබී ඇත්තේ තැන තැන විසිවෙමින් සාමාන්‍ය ගල් පුවරුවක් ලෙස බවද ඒ ගැන සොයා බැලීමේදී පෙනී ගියේ යැයි ද එම නිලධාරියා සඳහන් කළේය.

    මෙම සංඝමිත්තා විශ්‍රාම ශාලාව ත්‍රීකුණාමලය දිසාපති යටතේ ඇති ගොඩනැගිල්ලක් බවත් යුද්ධය පැවති සමයේ පොලිස් මුරපොලක් ලෙස මෙම ගොඩනැගිල්ල පවත්වාගෙන ගිය එකක් බවත් පොලීසිය කියයි.

    යුද්ධය නිමා වීමෙන් පසු එය මුරපොලක් ලෙස පවත්වාගෙන ගොස් නැති බවත් නැවතත් පොලීසිය එම ගොඩනැගිල්ලට ගොස් ඇත්තේ කොවිඩ් වසංගතය ව්‍යාප්තව පැවති සමයේදී පොලිස් නිලධාරීන්ගේ නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගනිමින් බවත් පොලීසිය සඳහන් කරයි. පොලීසිය ඒ යන විටත් එම සෙල් ලිපිය අනාරක්ෂිතව එහි තිබී ඇති බවත් පොලීසියට කිසිදු විටක එය ආරක්ෂාකරන්නට යැයි භාරදීමක් කර නැති බවත් පොලීසිය කියයි.

    කොවිඩ් වසංගතව පහව ගිය පසු එම ගොඩනැගිල්ල නැවතත් භාරදෙන තුර එක් පොලිස් නිලධාරියෙක් පමණක් එහි සේවයට යොදවා ඇති බවත් එම ස්ථානයේ පොලිස් මුරපොලක් ක්‍රියාත්මක නොවන බවත් පොලීසිය කියයි.

    මෙම සෙල් ලිපිය අතුරුදන් වීම ගැන පොලීසිය ඊයේ (06) පෙරවරුවේ සිට කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ කෝනේෂ්වරන් කෝවිලේ පූසාරි විසින් එම සෙල්ලිපිය රැගෙන ගොස් පිරිසිදුකර එහි මැද ඇති සිදුර මැදින් ශිව ලිංගයක් තබා වැදුම් පිදුම් කිරීමට භාවිතාකර ඇති බවය. ඔහු එම සෙල්ලිපිය පූසාරි විසින් කෝවිලට රැගෙන ගොස් ඇත්තේ “දෙවියන් කිව්වා“ යැයි කියා බවද පොලීසියට තොරතුරු ලැබී ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.