fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිසුන් 15000ක ගැටලුව විමල් ජනපතිට අරන් යයි

    සිසුන් 15000ක ගැටලුව විමල් ජනපතිට අරන් යයි

    “ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 2021/2022 කණ්ඩායමේ” ලියාපදිංචිය ප්‍රමාදවීමේ ප්‍රශ්නයට මුදල් ඇමති ලෙස කඩිනම් උත්තරයක් දෙන්නැයි ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (24) දින ලිපියක් යොමු කර තිබේ.

    අදාළ ලිපිය මෙසේය.

    ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    ජනාධිපති ලේකම් කාර්යාලය,

    කොළඹ

    ගරු ජනාධිපතිතුමනි,

    උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සඳහා මෙවර තේරීපත් වූ සිසුන්ගේ ලියාපදිංචිය ප්‍රමාදවීමේ ගැටලුව පිළිබඳව

    රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ඇතුළත්වීමට වරම් නොලබන උසස් පෙළ සිසුන්ගෙන් යම් පිරිසකට, රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා ක්‍රියා පටිපාටියට අනුකූලව, Z අගය මත පදනම්ව ණය යෝජනා ක්‍රමයක් යටතේ, රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල තුළ අධ්‍යයන කටයුතු කරගෙන යාමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2017 වසරේ සිට ඇරඹූ වැඩසටහන පිළිබඳව එවකට අගමැතිවරයා ලෙස ඔබතුමන් ද දැනුම්වත්ව ඇතැයි සිතමි.

    එම වැඩසටහන යටතේ අඛණ්ඩව ශිෂ්‍ය කණ්ඩායම් පහක් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල වෙත ප්‍රවේශය ලබා අධ්‍යාපනය ලබන බවත් මෙවර, එනම් 2021/2022 අධ්‍යයන වර්ෂය සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තෝරා ගත් සිසු පිරිසට මෙතෙක් ලියාපදිංචිය සඳහා අවස්ථාව ලැබී නැති බවත් අප වෙත දැනගැනීමට ලැබී ඇත.

    විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන සියලු සිසුන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළට අවශෝෂණය කර ගැනීම ප්‍රායෝගිකව දුෂ්කර හෙයින් ඒවාට ඇතුළත් කරගන්නා සිසු පිරිස ක්‍රමිකව ඉහළ දමමින්, නිදහස් අධ්‍යාපනයේ මහඟු ඵල සිසුනට අත්පත් කර දෙමින් යන ගමනක් තුළ රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ඇතුළු වීමට වරම් නොලබන සිසුනට ඉහත කී පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සඳහා ප්‍රවේශය ලබා දීම සාධනීය පියවරකි.

    මෙසේ රාජ්‍ය හා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවලින් හෙට බිහිවන උපාධිධාරියා වෙනුවෙන් අප රටක් ලෙස යොදවන මුදල කදිම අනාගත ආයෝජනයක් බව ඔබතුමා ද පිළිගන්නවා ඇත.

    කරුණු විමසා බැලීමේදී පෙනී යන්නේ, ඉහත කී 15000කට ආසන්න ශිෂ්‍ය කණ්ඩායමේ ලියාපදිංචිය ප්‍රමාද කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට සිදුව ඇත්තේ, ඒ සඳහා මූල්‍ය දායකත්වය ලබාදුන් ලංකා බැංකුව ඇතුළු මූල්‍ය ආයතන වැඩසටහන සඳහා පෙර පැවැති ණය පොලී අනුපාතය ඉහළ දැමීමේ හේතුව නිසාය.

    එබැවින් මුදල් අමාත්‍යවරයා ලෙස මේ පිළිබඳව ඔබතුමන්ගේ කඩිනම් අවධානය යොමු කර සුදුසු ක්‍රියාමාර්ගයන් ගෙන මෙම සිසු පිරිසෙහි ලියාපදිංචිය පිළිබඳ ගැටලුව නිරාකරණය කර දීමට පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

    ස්තුතියි,

    මෙයට

    විශ්වාසී,

    විමල් වීරවංශ (පා.ම.)

    නායක,

    ජාතික නිදහස් පෙරමුණ2

    022.08.24

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.