fbpx
තවත්
    මුල් පිටුවspecialජනපතිකම කාටද?

    ජනපතිකම කාටද?

    20 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපතිවරණය ගැන සමාජ මාධ්‍යයේ මේ වනවිට විවිධ අදහස් පළවෙයි. ආචාර්ය පියල් ආරියනන්ද මහතා විසින් පළ කර තිබුණේ මෙවැනි අදහසකි.

    රස කර කර හපන්න ටොපියක්🍬. සහ බෝම්බයක්…💣

    මට ලොකු දේශපාලන දැනුමක් නෑ,.. ඒත් දන්න විදියට මට හිතෙන හැටි.
    ජනපතිකම කාටද ?
    20 හවස වෙනකල් හැමෝටම තියෙන ප්‍රශ්නය මේකයි.
    අපි කොච්චර තර්ක කළත්, පාර්ලිමේන්තුවෙන් පිට ඉඳගෙන අපි කවුරු තේරුවත් අවසානයේ ජනපති වෙන්නෙ 225 දෙනා දෙන ඡන්දයෙන් වැඩිම මනාප ගන්න කෙනා.
    පළමුවර ගණන් කිරීමෙන් 50% ක් ගත්තොත් ඒ කෙනා තමයි ජනාධිපති වෙන්නෙ. නමුත් දැන් තියෙන තරඟය අනුව අනිවාර්යයෙන්ම දෙවනි මනාපයක් ගණන් කරන්න වෙනවා.
    ඒ නිසා පළමු මනාපය වගේම දෙවනි මනාපයත් අපේක්‍ෂකයින්ට අතිශයින් වැදගත්. එයින් අපේක්‍ෂකයෝ 4 දෙනෙක් ඉන්න නිසා මේක බෙදිලා ගිහිල්ලා 50% ක් එකවර කාටවත් එන්නෙ නෑ… ඒ නිසා අස්සයා කොච්චර ඉස්සරහින් හිටියත්, දෙවනි මනාපය හරිම වැදගත්…

    අපේක්‍ෂකත්වය පැහැදිලිව සටහන් කරපු හතර දෙනෙක් දැනට ඉන්නවා.

    1. වර්තමාන වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ
    2. සමගි ජන බලවේගයෙන් සජිත් ප්‍රේමදාස
    3. ජාතික ජන බලවේගයෙන් අනුර කුමාර දිසානායක
    4. ස්වාධීන කණ්ඩායමෙන් ඩලස් අලහප්පෙරුම
    5. තව කවුරු එයිද දන්නෙ නෑ…

    මේ හතර දෙනාගෙන් පාර්ලිමේන්තුවේ ඡන්දය දෙන්න පුළුවන් 225 න් 50% ක් පළමු දෙවන (සහ සමහරවිට තුන්වන) මනාප ලබන පුද්ගලයා 20 වනදා ජනපති වේවි.

    මේ රට දැන් දින 100 කට ආසන්න අරගලයකට පසු තවමත් මිනිස්සු සාමාන්‍යයෙන් දින 5-7 කාලයක් ඉන්ධන පෝලිම්වල, මාස ගණනාවක් ගෑස් පෝලිම්වල, මාස ගණනාවක් පාසැල් වැසී, කර්මාන්තශාලා වැසෙමින් රැකියා අහිමි වෙමින් යන, නිලවශයෙන් බංකොලොත්භාවය ප්‍රකාශ කරපු රටක්. අපි ඇත්තටම අසරණයි.

    දැල් ෂැපධෑ ?

    දැන් අවශ්‍ය මේ රට ඉතාමත් ඉක්මනින් කිසියම් හෝ ස්ථාවරත්වයකට ගෙන යාමට අවශ්‍ය නායකත්වයක්, ඒ නායකත්වය හරහා රටට වැඩක් කළ හැකි අවම කැබිනට්ටුවක් පත් කරගැනීම. ඒක තමයි මූලික කාර්යය.
    දේශපාලන න්‍යායපත්‍ර වලින් තොර අරගලකරුවන් පවා තරමක නිශ්ෂබ්ධතාවයක් පවත්වාගෙන යන්නේ මේ කාරණය හොඳින් තේරුම් අරගෙන සිටින නිසා. මම එහෙම කිව්වෙ, ගොල්ෆේස් එකේ පටන් ගත්ත ආදරණීය අරගලය දැන් දේශපාලන කණ්ඩායම්වල අතකොළු බවට පත්වෙලා හයිජැක් වෙච්ච නිසා. ඒක තම තමන්ගේ අය නායකත්වයට පත්කර ගැනීමේ රහස් න්‍යායපත්‍ර වල ගොදුරක් බවට පත් වෙච්ච නිසා..
    දැන් කවුරු කිව්වත් අරගලයේ කොටස් දෙකක් හෝ කිහිපයක් තියෙනව. ප්‍රධාන මාතෘකාවෙන් පිට පැන්නත් මේ ටික කියන්න ඕන.

    • සැබෑ අරගලකරුවන් – සැබෑවටම system change එකක් අවශ්‍ය, යහපත් ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ සිහිනය දකින තරුණ තරුණියන්
    • දේශපාලන සිරකරුවන් – තම තමන්ගේ නායකයින්ට අවස්ථාව උදාකර දෙන්න අරගලය වෙනතකට හරවපු දේශපාලන පක්ෂවල සිරකරුවන්.
    • සිහින නායකයින් – අරගලයේ මුවාවෙන් කීයක් හරි හොයාගන්න, තමන්ගේ ඡන්ද කොටස වැඩි කරගන්න උත්සාහ කරන, කවදාවත් පාර්ලිමේන්තු යන්න බැරි අය, නමුත් එයාල කැමතියි ඕනම පාලනයක් කඩාකප්පල් කරන්න. ඒක තමයි ඔවුන්ගෙ ආසාව.

    අරගලය තිබිය යුතුයි.. අරගලයේ මූලික අභිප්‍රායන් ඉටු කර ගන්න. නමුත් දේශපාලන පක්ෂ වල ඕනෑඑපාකම්වලට නෙවෙයි.
    දැන් මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නෙ. මිනිස්සුන්ට සල්ලි නෑ.. ළමයින්ට පාසැල් යන්න නෑ. මිනිස්සුන්ට රැකියා අහිමි වෙලා. ස්වයං රැකියාවක් කරන්නවත් අවශ්‍ය දෑ නෑ. ආනයන ඇණහිටලා. ඉන්ධන ගෑස් නෑ. එළවලුවක් වවන්නවත් පෝර නෑ. ආහාර ද්‍රව්‍ය ගිණි ගණන්. සමහර ඒව ඇත්තෙත් නෑ.. කොටින්ම මේ රට කියන්න බැරි තරමේ අගාධයක තියෙන්නෙ.

    මිනිස්සුන්ට ඕන මේ අගාධයෙන් ගොඩ එන්න. ඒක තමයි මූලික බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුව ඉටු කරන නායකයෙක් තමයි ලංකාවට දැන් ඕන.

    මේක T-20 match එකක් මිත්‍රවරුනි… මේක Test Match එකක් නෙවෙයි. මේකට ඕන භානුක රාජපක්ෂ, කුසල් ජනිත් පෙරේරා, රොමේෂ් කළුවිතාරණ, සනත් ජයසූරිය වගේ ඉක්මන් ලකුණු රැස් කරන ප්‍රහාරකයො මිසක් හෂාන් තිලකරත්න, රෝයි ඩයස්, ඩේවිඩ් ගවර්, වගේ සෙමෙන් ලකුණු රැස් කරන ආකර්ෂණීය පිතිකරුවො නෙවෙයි. මේක Do or Die තත්ත්‍වයක්.

    ඒ නිසා මේ අපේක්ෂකයන්ගෙන් හොඳම කවුද කියලා පාර්ලිමේන්තුව තේරිය යුතුයි. මේ Deal එකෙන් හොඳම Deal කාරයා දිනනවා.. ඒක කවදත් එහෙමයි.. අපට පිට ඉඳගෙන කරන්න පුළුවන් දේ බොහොම අල්පයි.

    අහවලාට ඡන්දෙ දුන්නොත් ගමට එන්න එපා, ගමට එන්න ඉස්සර ඡන්දෙ දෙන එක ගැන හිතන්න කියලා ෆේස්බුක් එකේ පෝස්ට් යනවා.. මේ කවුරුවත් ගමට එන අය නෙවෙයි.. ඒ වගේම මේ තියෙන තත්ත්‍වය උඩ මේ බොහොමයක් දෙනා ඊලඟ මැතිවරණයෙන් පස්සෙ දේශපාලනයට එන එකකුත් නෑ.. එයාලගෙ මූලික අභිප්‍රාය අවුරුදු පහ පාර්ලිමේන්තුවෙ ඉඳලා අවශ්‍ය දේවල් කරගෙන විශ්‍රාම වැටුපත් හදාගන්න එක.. ඒ නිසා ඔය පිටින් කෙරෙන තර්ජන ගණන් ගන්නෙ නෑ.. ඇත්තෙන්ම දැං Deal එක Seal වෙලා ඉවරයි.

    මේ රට ගොඩ දාන්න මේ ටික කාළයේ දේශීය Homegrown විසඳුමක් නෑ,… අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර සහය ලැබිය යුතුමයි. එයට විදෙස් ආධාර ලැබීම සහ කළමණාකරණය, IMF ආධාර ලබා ගැනීම සඳහා සාකච්ඡා සහ මාර්ගසිතියම්, උපායමාර්ගික සැලසුම්, ජාත්‍යන්තරය විසින් මෙය කළමණාකරණය කළ හැකි කෙනෙක් ය යන කරුණ පදනම් කරගෙන නායකයා කෙරෙහි දක්වන විශ්වාසය. පැරණි අත්දැකීම් සහ ජාත්‍යන්තරයට ඒ නායකයා කෙරෙහි ඇති විශ්වාසනීයත්වය මූලික වෙනව.

    මෙහිදී රටේ ස්ථාවරත්වය ඇති කිරීම අනිවාර්ය වෙනව. රට නැවත අස්ථාවර වුනොත් නැවතත් අගාධයට යනවා.

    මේ මට හිතෙන හැටි… මම ද්‍රෝහියෙක් කියලා බනින්න ඉස්සර, මට පක්ෂයක ලේබල් අලවන්න ඉස්සර මේ කියන කරුණු හොඳට හිතල බලන්න.

    අනුර කුමාර දිසානායක

    අවිවාදයෙන්ම අවම වශයෙන් දූෂණ චෝදනා එල්ල වී ඇති අපේක්ෂකයා අනුර. ඒ වගේම අවම වශයෙන් පාර්ලිමේන්තු ඡන්ද ලැබීමේ අවස්ථාව ඇත්තෙත් අනුරට. ඒ, අනුර ආවොත් පාර්ලිමේන්තුවේ දැනට සිදුවෙමින් පවතින ක්‍රමවේදයන් වෙනස් වෙයි කියලා ඇති විචිකිච්ඡාව නිසා, අනුරට ජාත්‍යන්තර සහයෝගය නෑ කියන්න බෑ… නමුත්, ජාත්‍යන්තරය අනුරට දක්වන ආකල්පය කුමක්ද සහ අනුරට කොපමණ ජාත්‍යන්තර සහයක් ලැබෙයිද කියන එක අනුමාන කරන්න බෑ. අනුරට මේ වගේ වගකීමක් දරලා පුරුදුද ? ඒක ප්‍රශ්නයක්. ගෝඨාභයට තිබුණ ප්‍රශ්නයම අනුරටත් තරමක් දුරට තිබෙනව. අනුර උපරිමයෙන් පක්ෂ නායකයෙක් විතරයි. ඉතා සුළු කලක් කෘෂිකර්ම ඇමති පදවිය දැරුව. ඒක හොඳටම කළා… නමුත් අනුරට ඉන් එහාට වගකීමක්, විශේෂයෙන්ම මේ වගේ වෙලාවක දැරිය හැකිද? අනුර ආවත්, සර්වපාක්ෂික කැබිනට්ටුවක් හැදුවත්, ඒක කොයිතරම් දුරට සාර්ථක වෙයිද මේ කැඳහැලිය එක්ක. ? ඒ වගෙම අනුර සාම්ප්‍රදායිකයි… සාම්ප්‍රදායිකත්වයෙන් පිට නොපැන මේ වගේ අර්බුධයකට විසඳුම් හොයන්න ඕන..

    සජිත් ප්‍රේමදාස Sajith.Premadasa

    තාත්තගෙ අහලකින්වත් යන්නෙ නැති දුර්වල කළමණාකාරීත්‍වවක් තියෙන පුතාගෙ ගැන සමාජයේ ඇති ආකල්පය නම් වයර් මාරු වෙච්ච action figure එකක් කියන එක විතරයි. විපක්ෂ නායක තනතුරට වඩා ඉහලට නොගිය, මේ තාක් කරපු කියපු දේ වලින් සිය ප්‍රතිරූපය විනාශ කර ගනිපු, විශ්වාසනීයත්වය අවම, වගකීමකදී පස්සට යන, නමුත් සැලකිය යුතු ඡන්ද ගණනක් පාර්ලිමේන්තුවෙ තියෙන කෙනෙක්. ජාත්‍යන්තරය ඔහු කෙරෙහි අනුර තරම්වත් විශ්වාසයක් තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්. මේ අවස්ථාවෙ Learners Permit එකක් තියෙන කෙනෙකුට රේස් එක පදින්න දෙනවද කියන එක අනුරට වගේම මෙයා ගැනත් හිතන්න වෙනව. අනුරටත් වඩා සජිත් සාම්ප්‍රදායිකයි.

    ඩලස් අලහප්පෙරුම

    ඩලස් කියන්නෙ කාගෙ රූකඩයක් ද කියන එක තේරුම් ගන්න බැරි නම් ඉතිං මේ ලිපිය මෙතනින් එහාට කියවලා වැඩක් නෑ,. රාජපක්ෂ ආණ්ඩුව ජනතාව අතර අභියෝගයට, අප්‍රසාදයට ලක් වෙන්න පටන් ගන්නකොටම ඒකට විකල්පයක් අටවගත්ත ඩලස් කියන්නෙ තවමත් ඇමරිකානු රූකඩයක්, ඩලස්ට රාජපක්ෂ ආණ්ඩුව යටතේ ඇමතිකම් දෙකක් ලැබුණා. අධ්‍යාපන ඇමතිකම සහ විදුලිබල ඇමතිකම. ඩලස් අධ්‍යාපනයට කරපු දෙයක් නෑ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කමිටුවක් දාලා පරණ අධ්‍යාපන රටාවම චුට්ටක් වෙනස් කරන්න හැදුවා.. ඒක අසාර්ථකයි. විදුලි කප්පාදුව කළමණාකරණය කර ගන්න බැරුව ඩලස් ගාල ලයිට් ගියේ ඩලස්ගෙ කාලෙ. ඩලස් කියන්නෙ රාජපක්ෂ පවුලෙ සුරතලෙක්.. ඩලස්ට රාජ්‍යතාන්ත්‍රික පිලිගැනීමක් ඇත්තෙම නෑ.. ඩලස්ට දැනටමත් රාජපක්ෂ පවුලේ නාලිකාවක් කඩේ යන්නත් පටන් අරගෙන. තිත් යා කරගන්න…

    රනිල් වික්‍රමසිංහ

    දැනට පාර්ලිමේන්තුවෙ පරිණතම දේශපාලනඥයා වෙන්නෙ රනිල්. ඒක නිසාම තමයි අරගලකරුවන් වුනත් බය වෙලා ඉන්නෙ. ඔවුන් වෙන කවුරු ආවත් කමක් නෑ රනිල් ආවොත් අරගලය ඉවරයි කියන බයේ ඉන්නෙ. ඒක කිහිප වතාවක්ම අරගලකරුවන් ප්‍රසිද්ධියෙම ප්‍රකාශ කරලා තියෙනව. එතනින්ම තේරෙනව රනිල්ට තියෙන බය. ඇයි බය ? රනිල් උපායමාර්ගිකයි. සැලසුම් සහගතයි. කපටියි.. Old Fox කියන්නෙ ඒකයි. රනිල්ගෙ මූලික සැලසුම් කෙටිකාලීන මධ්‍යකාලීන සහ දිගුකාලීනයි. දැනටමත් ඉන්ධන නැව් එනවා, ගෑස් නැව් එනව. ඒක බෙදන තාක්ෂණය පදනම් වූ ඇප් එක පිට වෙලා ඉවරයි. ඒක නිසාම දැන් බොහෝ දෙනෙකුට බලාපොරොත්තුවක් ඇවිත් තියෙන්නෙ රනිල් මේක කරයි කියල. ඒ බලාපොරොත්තුව මධ්‍යම පන්තියට රනිල් දුන්න ගමන්ම අරගලයට යන එන මං නැති වෙනව. අරගලයෙ ජීවය රැඳීලා තිබුණෙ මධ්‍යම පාන්තික සහයෝගය මත. මෙතුවක් කාලයක් අන්තරය සහ වෙනත් සංවිධාන අනන්තවත් අවස්ථාවල පෙළපාලි විරෝධතා සංවිධානය කළත් ඒ එකක්වත් ඉදිරියට ගියේ නැත්තෙ ඔවුන්ට පිටින් සහයෝගයක් නොතිබුණ නිසා. නමුත් සාමාන්‍ය ජන සහයෝගයත් එක්ක අරගලය ඉදිරියට ගියා. ඒක නැතිවුන ගමන් අරගලය දියාරු වන බව රනිල් පාර්ශවය දන්නවා. ඒකට තමයි ක්‍රියා කරන්නෙ. රනිල්ට චෝදනා බොහොමයක් තියෙනව. බැඳුම්කර චෝදනාව ප්‍රධානයි. ඒ වගේම රනිල් රාජපක්ෂලා ආරක්ෂා කරනව කියන චෝදනාවත් ප්‍රබලයි. ඒ හැරෙන්න රනිල්ට තියෙන ජාත්‍යන්තර පිළිගැනීම ඉතිරි කාටවත් නෑ..

    මංගල සමරවීර

    මංගල සමරවීර ජීවත්ව සිටියා නම් මේ රටේ අතීතය සහ අනාගතය මීට වඩා වෙනස් වන්නට බොහෝ ඉඩ තිබුණා. එසේනම් අරගලය හරහා මේ වනවිට ජනාධිපති විය හැකිව තිබූණෙ මංගල. මංගලගෙ තරම් ප්‍රගතිශීලී අදහස් සහ යාවත්කාලීන වන මනසක් මේ ඉහලින් සඳහන් කළ හතර දෙනාගෙම නැහැ. නමුත් මංගල අපි අතර නැහැ.. අවාසනාවකට.

    රළු මුහුදක යාත්‍රා කරන නෞකාවක කපිතාන් පදවිය සෑමවිටම ලබා දෙන්නෙ පළපුරුදු නාවිකයෙකුට. ඒ නාවිකයා පළපුරුද්දෙන් දන්නවා දියඹෙ සෑම වෙනස්වීමක්ම, සුළඟ අනුව නෞකාව හසුරවන ආකාරය.
    මේ තරඟයට ඉදිරිපත් වෙලා ඉන්න හැම දෙනාගෙන්ම වැඩිම පළපුරුද්ද තියෙන්නෙ රනිල්ට. ජාත්‍යන්තර සබඳතා වගේම අභ්‍යන්තර සමබරතාවයත් මේ ටික දිනට ගෙනයන්න පුළුවන් එකම පුද්ගලයා රනිල්.
    මේ අවස්ථාව පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කර කර ඉන්න අවස්ථාවක් නෙවෙයි. මේ අවස්ථාව පලවෙනි පන්දුවෙ ඉඳලම ප්‍රබලව ක්‍රියාත්මක වෙන්න ඕන අවස්ථාවක්. දැනටමත් රනිල් ඒ සඳහා පිටිය සකසලා අවසානයි. මේ ඉදිරි මාසය හෝ මාස කීපයේ T-20 මැච් එකට සුදුසුම පිතිකරු රනිල්. ඒක මම විතරක් නොවෙයි බොහෝ දෙනෙකුගෙ මතය.

    මේක අපි රට වෙනුවෙන් කරන ලොකු සූදුවක්, මේ සූදුවෙදි අපි ලංසු අල්ලන්න ඕන හොඳටම Sure ජොකියට…

    ඒ ජොකියා රනිල් නොවෙන්නත්, වෙනත් කවුරුහරි වෙන්නත් ඕන කියනව නම්, ඔබේ අදහස් දැක්වීමට මෙය විවෘතයි. මම නැවතත් මේ ගැන මෙහි ලියන්නෙ නෑ… ඔබ තර්ක කරන්න..

    ඒ වගේමයි, අනුර ආවද, සජිත් ආවද, ඩලස් ආවද රනිල් ආවද කියන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්නය තියෙන්නෙ රටක් වශයෙන් අපි වෙනස් වෙනවද කියන එක. ඔවුන් කවුරු ආවත් කරන්නෙ නීති සම්පාදනය සහ මහාපරිමාණ සැලසුම් ක්‍රියාත්මක කිරීම. ජනතාවක් වශයෙන් අපි තවමත් ගල් යුගයෙ නම්, දියුණු වෙන්න හිතලවත් නැතුව පරණ ගතානුගතික සහ ආත්මාර්ථකාමී කුහක විදියටම වැඩ කරගෙන යනව නං මේ හතර දෙනා නෙවෙයි, ලී ක්වාන් යූ ආවත් අපි අගාධයෙමයි..

    ආචාර්ය පියල් ආරියනන්ද

    එච්චරයි.

    මම නිහඬව ඉන්නම්. ඔව්.. මේකට මීට වඩා වචනයක් ලියන්නෙ නෑ…. අපි හැමෝම අදහස් දක්වමු.

    (සංවාදයට විවෘතයි..)

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.