fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොවිඩ්වලට වඩා ආර්ථික අර්බුදයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය අසීරු අඩියකට වැටිලා

    කොවිඩ්වලට වඩා ආර්ථික අර්බුදයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය අසීරු අඩියකට වැටිලා

    සමස්තයක් ලෙස ගත් විට අධ්‍යාපන ක්ෂේත්‍රය, කොවිඩ් තත්ත්වයටත් වඩා ආර්ථික අර්බුදය හමුවේ උද්ගතව ඇති තත්ත්වය කළමනාකරණය කර ගැනීම අපහසුව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන් රණසිංහ මහතා පවසයි.

    ඒ අනුව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉතා බැරෑරුම් හා සංකීර්ණ ක්‍රියාවලියකට අවතීර්ණවීමට සිදුව ඇති බවත් හෙතෙම පැවසුවේ පසුගියදා (15) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) ය.

    පැවති කොවිඩ් තත්ත්වය සහ ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි සැලසුම් පිළිබද විමසා බැලීම සදහා මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කෝපා කමිටුව හමුවට අධ්‍යාපන බලධාරීන් කැඳවූ අවස්ථාවේදී අධ්‍යාපන ලේකම්වරයා මේබව පැවසීය.

    අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යන ආයතනවල නිලධාරීහු මෙම විශේෂ රැස්වීමට කැඳවා තිබිණි.

    නියමිත දින ගණන පාසැල් පැවැත්වීමට නොහැකිවීම නිසා පවතින සීමිත කාලසීමාව තුළ විෂය නිර්දේශය ආවරණය කිරීමට නොහැකිවීම, පවතින ඉන්ධන හිගය, දරුවන්ගේ පවුලේ ආර්ථික අපහසුතා, දෙමාපියන්ට රැකියා අහිමිවීම ආදිය බරපතල ගැටලුවක් වෙමින් පවතින බව ලේකම්වරයා පෙන්වා දුන්නේය.

    මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදු කළද ග්‍රාමීය වශයෙන් විවිධ දුෂ්කරතා පවතින බවත් ඉගෙනුම් ක්‍රියාවලියේදී මාර්ගගත ක්‍රමය දීර්ඝකාලීනව සිදුකිරීම සිසු දරු දැරියන් සදහා සාර්ථක ක්‍රමයක් නොවන බවත් මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ.

    ඇතිවී ඇති ආර්ථික අර්බුදකාරී තත්ත්වය තුළ අධ්‍යාපන අමාත්‍යාංශයට මීට පෙර වෙන් වූ වැය ශීර්ෂයන්ට අයත් මුදල් ප්‍රමාණවත් නොවීම තවත් ප්‍රධාන ගැටලුවක් බවත් රජයේ මුදල් ප්‍රභවයන්ට පරිබාහිරව වෙනත් ආයතනවලින් ලැබීමට ඇති UNICEF, ADB, ලෝක බැංකුව වැනි ව්‍යාපෘතිවල මුදල් ප්‍රතිව්‍යුහගත කර ප්‍රමුඛතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා යෙදවීමට කටයුතු කරන බවත් මෙහිදී ලේකම්වරයා පැවසීය.

    සීමිත කාලයක පාසැල් පැවැත්වීම නිසා සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීමට නොහැකි තත්ත්වයක විභාගයට අදාළ කරගන්නා විෂය නිර්දේශයේ වපසරිය සීමා කිරීමේ අවශ්‍යතාව පිළිබදවද කමිටුවේ විශේෂ අවධානය යොමුවිය. එසේ නොවන විට දරුවන් මෙන්ම ගුරුවරුන්ද දැඩි පීඩනයකට ලක්වන බව කමිටුව පෙන්වා දුන්නේය.

    2020 වසරේදී සිසු දරුවන්ගේ ඉගෙනුම් අහිමිවීම 54% ක් ලෙස සහ 2021 අගෝස්තු වන විට 88% ක් ලෙස ගණන් බලා ඇති බව ද මෙහිදී අනාවරණය විය.

    මෙවැනි තත්ත්වයක් තුළ විභාග දෙපාර්තමේන්තුවෙන් විභාග පැවැත්වමේදී අදාළ ඉගෙනුම් අහිමිවීම පිළිබද සලකා බලා දරුවන්ට අසාධාරණයක් නොවන ලෙස ප්‍රශ්න පත්‍ර සැකසීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය.

    ඒ සදහා ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව මනා සම්බන්ධීකරණයෙන් මේ සදහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ක්‍රියාත්මක කරන ලෙස කමිටුව මෙහිදී නිර්දේශ කළේය.

    එසේම පවතින ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ළගම පාසැලට දරුවන් තාවකාලිකව අනුයුක්ත කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන බවත් එය මෙම වසරේ දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් මෙහිදී අනාවරණය විය.

    මෙහිදී පවතින දැඩි දුෂ්කරතා මධ්‍යයේ වුවද සාමාන්‍ය පෙළ ඇතුළු ජාතික විභාග නිසි පරිදි පැවැත්වීමට කටයුතු කිරීම පිළිබද විභාග කොමසාරිස් ජනරාල් ඇතුළු සියලු නිලධාරීන් කමිටුවේ ප්‍රශංසාවට ලක්විය. එසේම කොවිඩ් තත්ත්වය තුළ මෙන්ම ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රය නිසි පරිදි පවත්වා ගැනීමට කටයුතු කළ සියලු ගුරුවරු ඇතුළු අධ්‍යාපන බලධාරීන්ටද කමිටුව සිය ප්‍රශංසාව පුද කළේය.

    පැවති කොවිඩ් තත්ත්වය සහ වත්මන් ආර්ථික අර්බුදය හමුවේ විශ්ව විද්‍යාල පද්ධතියේ පවතින ගැටලු පිළිබදවද මෙහිදී සාකච්ඡා විය. පවතින ඉන්ධන හා ගෑස් හිගය වැනි දුෂ්කරතා හමුවේ තවදුරටත් ප්‍රායෝගික පරීක්ෂණ යනාදිය සඳහා පමණක් විශ්ව විද්‍යාලවලට කැදවීම සිදු කරන බවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ දේශන පැවැත්වෙන බවත් මෙහිදී නිලධාරීහු පැවසූහ.

    ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක ඩොලර් මිලියන 100 ක ව්‍යාපෘතිය නැවත සළකා බලා පවතින අර්බුදය හමුවේ ඵලදායි ලෙස යොදා ගැනීමට සැලසුම් සකස් කරන ලෙස මෙහිදී කමිටුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නිර්දේශ කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු දයාසිරි ජයසේකර, ගරු ලසන්ත අලගියවන්න, ගරු මොහොමඩ් මුසම්මිල්, ගරු තිස්ස අත්තනායක, ගරු (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ගරු ශිවඥානම් ශ්‍රීතරන්, ගරු ප්‍රසන්න රණවීර, ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය, ගරු වීරසුමන වීරසිංහ සහ ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති යන මහත්මමහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.