fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මන්ත්‍රී වරප්‍රසාදවලට වඩා සාපෙළ විභාග දින10 වටිනවා" - ඩලස්

    “මන්ත්‍රී වරප්‍රසාදවලට වඩා සාපෙළ විභාග දින10 වටිනවා” – ඩලස්

    දරුවන් ලක්ෂ 6ක් පමණ ලබන සඳුදා සිට දින 10ක කාලයක් ජීවිතයේ කඩඉමක් වන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බැවින් විභාගයට පෙනීසිටීමට ඔවුන්ට ඇතිවිය හැකි ගැටලු පිළිබඳ අවිනිශ්චිතතා ඉවත් කිරීමට කතානායකවරයාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවේ සියල්ලන්ගේම සහභාගි්වයෙන් හෝ වහා පියවර ගත යුතු බව හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    මේ මොහොතේ වඩා වැදගත් වන්නේ මන්ත්‍රීවරුන්ගේ කෑම ද? ඉන්ධනද? වරප්‍රසාද කියන කාරණාවට වඩා මේ වෙලාවේ රටට අපේ දරුවන්ගේ මේ දින 10 ඉතා වටිනා බව හෙතෙම පාර්ලිමේන්තුවේදී ඊයේ(20) කරුණු දක්වා සිටියේ ය.

    “ඊයේ පෙරේදා කතා කරපු කාරණාවලට වඩා බරපතළ කාරණාවක් තියෙනවා. ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමනි, සඳුදා මේ රටේ දූ පුතුන් හය ලක්ෂ 6ක් විභාගයට යනවා. සාමාන්‍ය පෙළ විභාගය ජීවිතයේ කඩඉම. හැබැයි මේ අවිනිශ්චිත භාවයෙන් දරුවෝ ඉන්නවා. පාරට බහින්න. අපට බස් එකක් තියෙයි ද? ගෙදර බයිසිකලේ හරි තාත්තත් එක්ක හරි යන්න පෙට්රල් තියෙයිද? අපට පාඩම් කරන්න ලයිට් එක තියේවිද? කළුවරේ ඉන්න වේවිද? විභාග පරීක්ෂකවරුන්ට විභාග ශාලාවලට යන්න පුළුවන් වේවිද? පාරෙ පෙළපාලි තිබේවිද? බරපතළ ගැටලුවක් තිබෙනවා ගරු කතානායකතුමනි සමාජයේ.

    ප්‍රවාහන ඇමැතිවරයෙක් තවම පත්වෙලා නෑ. ඒ නිසා ඔබතුමා මේ මොහොතේ ඒකට නායකත්වය දීලා ආණ්ඩුව කටයුතු එසේ යන්න තිබියදී මේ දරුවෝ ලක්ෂ හයකගෙ සාමාන්‍ය පෙළ විභාගය, ජීවිතයේ පරම කඩඉම පිළිබඳව, අදාල පාර්ශව ගෙනල්ලා, සදුදා ඉඳන් දින දහයක් මේ විභාගය පවත්වනවා. මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඉල්ලීමක් කලා විදුලිය කප්පාදුවකින් තොරව ගෙනියන්නට කටයුතු කරන්න කියලා. කාංචන ඇමතිතුමා විශේෂ ප්‍රකාශයක් කළා. අදාල පාර්ශව එකඟ කරගෙන අවශ්‍ය නම් අපි ඔක්කොම එකතුවෙලා මේ කාරණාවට ප්‍රමුඛත්වය දෙන්න. කෑම ද? ඉන්ධනද? වරප්‍රසාද කියන කාරණාවට වඩා මේ වෙලාවේ රටට අපේ දරුවන්ගේ මේ දින 10 වටිනවා ගරු කතානායකතුමනි” යැයි ද හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.