fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මෙහෙම ගියොත් මමත් අස්වෙනවා" - මහබැංකු අධිපති

    “මෙහෙම ගියොත් මමත් අස්වෙනවා” – මහබැංකු අධිපති

    • සති ‍2ක් තුළ දේශපාලන ගැටලුව විසඳාගන්න නැත්නම් මම යනවා
    • දේශපාලන ස්ථාවරත්වය නැතිවුණොත් මට තියා කාටවත් මේක ගොඩදාන්න බෑ
    • මේ වෙලාවේ අත්‍යාවශ්‍ය දේවල් ඇරෙන්න කිසිම දෙයක් මිලට ගන්න එපා
    • මම ආවේ සති දෙකෙන් ස්ථාවර වෙයි ඉතුරු වැඩ ටික ගැන විශ්වාසෙන්
    • මාසෙකුත් ගිහින් කරපු වැඩත් දැන් යන්නේ වෙන පැත්තකට
    • දේශපාලන බලධාරීන් වහාම අවශ්‍ය තීන්දු ගන්න

    රටේ පවතින තත්ත්වය තවත් සති දෙකක් පමණ කාලයක් පැවතුනොත් තමන් ධූරයෙන් ඉල්ලා අස්වන බවට සියලු දේශපාලන පක්ෂ වෙත දැනුම් දුන් බව මහබැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

    එම කාලය තුළ රට තුළ දේශපාලන ස්ථාවරත්වය ගොඩනගා ගැනීමට දේශපාලන පක්ෂ ප්‍රමුඛ අනෙකුත් බලධාරීන් කටයුතු නොකරන්නේ නම් තමාට තබා කිසිවකුට රට ගොඩගැනීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම කළ නොහැකි බව ඔහු අනතරු ඇඟවීය.

    ඒ අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

    තමන් මෙරටට පැමිණියේ සති දෙකක් තුළ ස්ථාවරත්වයක් ඇති වී තමන්ගේ සිත් තුල තිබූ ආර්ථිකය යථාවත් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බවට තිබූ විශ්වාසය මත බව අධිපතිවරයා කීය.

    මේ වනවිට තමන් මහ බැංකු අධිපති ධුරය භාර ගෙන මාසයකට ආසන්න කාලයක් ගත වුවද තවමත් රට දේශපාලන වශයෙන් අස්ථාවර තත්වයක තිබීම මහ බැංකුවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ සැලසුම් ඉදිරියට ගෙන යෑම බරපතළ අභියෝගයකට ලක්කර ඇති කර ඇති බව ඔහු සඳහන් කරයි.

    එය ඉලක්ක කොටගනිමින් ඇරඹූ ක්‍රියාදාමය දැන් වෙනතකට ගමන් කරමින් තිබෙන බව ඔහු පැවසීය.

    වර්තමානයේ ඇතිවී තිබෙන බරපතළ තත්ත්වය තමන් මේ බව මේ වන විටත් ජනාධිපතිවරයා පමුඛ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලට දන්වා ඇති බවත්, සියල්ල එක්මුතු වී රට ගොඩ ගැනීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීම ඔවුන්ගේ වගකීම බවත් මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

    රට තුළ මේ මොහොතේ පවතින ආර්ථික තත්ත්වය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීම් සඳහා අසීරු තීන්දුත් තීරණ රැසක් ගැනීම්ට සිදුව ඇති බවත් මේ මොහොතේ ජනතා නියෝජිතයින් සහ අදාල බලධාරීන් තීරණය කළ යුත්තේ මැතිවරණයක් පවත්වා ස්ථාවර රජයක් ගෙන එනවද, එසේ නොමැතිව මැතිවරණයක් නොපවත්වා ස්ථාවර රජයක් ගෙන එනවා ද යන කාරණය පිළිබඳව පමණක් බව ද කීය.

    මේ මොහොතේ මැතිවරණයක් කරා යා යුතුද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් තමන්ට ඍජු පිළිතුරක් ලබා දිය නොහැකි වුවද අවශ්‍ය කරනුයේ සෘජු තීන්දු තීරණ ගත හැකි ස්ථාවර රජයක් පමණක් බවත් එය සාක්ෂාත් කර දීම දැන් පවතින්නේ ජනතා නියෝජිතයින්ගෙන් පාර්ශවයේ බවත් මහබැංකු අධිපතිවරයා අවධාරණ කළේය.

    ජනතාව ද මේ මොහොතේ කිසිම ආනයනය කරන ලද භාණ්ඩ මිලදී ගැනීම සඳහා මුදල් යෙදවීමට කටයුතු නොකරන ලෙසත් ඔහු කීය. “TV එකක් ඕන නම් ඒ ටිකක් කල් දාන්න. ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය දෙවල් මිලදී ගැනීමට පමණක් මුදල් භාවිතා කරන්න” යැයි ද මහ බැංකු අධිපතිවරයා අද පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියා

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.