fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන ජනපති කැඳවූ සාකච්ඡාව අද

    සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන ජනපති කැඳවූ සාකච්ඡාව අද

    රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජනයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන පළමු පියවර ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(29) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

    ඒ අනුව අද පෙරවරු 10.30ට කොළඹ 01, ජනාධිපති මන්දිරයේදී එම සාකච්ඡාව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    විධායක ජනාධිපතිවරයා ලෙස තමා මේ මොහොතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා පක්ෂ නායකයන් වෙත සාකච්ඡාවට කැඳවීමේ ලිපියක් යවමින් පවසා තිබුණි.

    එහෙත් වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව පිහිටුවීමට යෝජිත එම සර්වපාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය, ක්‍රියාත්මක විය යුතු කාලසීමාව, එහි වගකීම ලබාදෙන පුද්ගලයින් කවුරුන්ද යන්න ඇතුලු ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කොට තීරණය කළ යුතු බව ජනාධිපතිවරයා සිය ලිපියේ සඳහන් කර තිබුණි.

    සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුවේ දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් ද, 2020 මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ හා මේ වන විට ස්වාධීන කණ්ඩායම් වශයෙන් කටයුතු කරන පක්ෂ නායකයින්ට ද තම පක්ෂයේ අදහස් හා යෝජනා ද සමඟ මේ අවස්ථාවට නොවරදවාම සහභාගී වන මෙන් ජනාධිපතිවරයා ආරාධනා කර තිබුණි.

    කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසා තිබුණේ මෙම සාකච්ඡාවට සහභාගි වීමට නම් පක්ෂයේ තීරණය මත ස්වාධීන වී පසුව ඇමතිකම් ලබාගත් මන්ත්‍රීවරුන් එම ධුරවලින් ඉවත් කරන්නේ නම් තමන් සාකච්ඡාවට පැමිණෙන බවයි.

    මේ අතර අද පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වීමට ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පක්ෂ 10ක නියෝජිතයන් ඊයේ තීරණය කර තිබුණි.

    එහෙත් ජනාධිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂය පැවැසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.