fbpx
තවත්
    මුල් පිටුවGOSSIPජනපති බලතල අඩුකරන තිලංගගේ යෝජනාවට ශ්‍රීලනිප අනුමැතිය

    ජනපති බලතල අඩුකරන තිලංගගේ යෝජනාවට ශ්‍රීලනිප අනුමැතිය

    විධායක ජනාධිපති ධුරය බලතල සම්පූර්ණයෙන් අහෝසි නොකර එහි බලතල සීමා කිරීමට පමණක් සිය සහයෝගය ලබාදිය යුතු බවට වන යෝජනාවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණයකට එළැඹියේය.

    ඒ,පක්ෂයේ සභාපති,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(25) පැවැත්වුණු මධ්‍යම කාරක සභා රැස්වීමේදීය.

    රට තුළ ඇතිවී තිබෙන ආර්ථික සහ දේශපාලන අර්බුදයට පිළියමක් වශයෙන් අන්තර්කාලීන රජයක් පිහිටුවීම සඳහා සහයෝගය ලබාදෙන බවටද එහිදී එකඟතාව පළවිය.

    විධායක ජනාධිපති ධුරය මුළුමනින්ම අහෝසි කළහොත් රට තුළ නැවතත් බෙදුම්වාදයක් උද්ගතවී ජනවාර්ගික අර්බුදයකට මුලපිරීමක් සිදුවිය හැකි බව පෙන්වා දෙමින්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති සහ කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මහතා විසින් පක්ෂයේ සභාපති,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මීට පෙර යවා තිබූ ලිපියෙහි ඇතුළත් කරුණු පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.

    යම් හෙයකින් විධායක ජනාධිපති ධූරය මුළුමනින්ම අහෝසි කළ යුතු නම්,13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් පළාත් සභා ක්‍රමය ඉවත් කළ යුතු බවත්,ඒ තුළින් උතුරු නැගෙනහිර ස්වයං පාලනයක් ඇතිවීමේ අවදානම පහව යන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයා මෙම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වාදී තිබුණි.

    අනෙකුත් මධ්‍යම කාරක සභා සාමාජිකයන්ද මෙහිදී සිය අදහස් ඉදිරිපත් කළ අතර,පොදු මතය වූයේ ඒකීය ශ්‍රී ලංකාවක් යන සංකල්පය රැකගැනීම සදහා අත්‍යාවශ්‍ය බලතල ජනාධිපතිවරයා වෙත ලැබෙන බවට සහතික විය හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවකට පමණක් පක්ෂයේ සහයෝගය ලබාදිය යුතු බවටය.

    19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කරමින් ඒකීය රාජ්‍යයක් තුළ රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ ආකාරය තිලංග සුමතිපාල මහතා සිය ලිපියෙන් පෙන්වා දී තිබූ අතර,නව ව්‍යවස්ථා සංශෝධනයකින්ද රටට අවශ්‍ය වනුයේ එවැනි බලතල සහිත විධායක ජනාධිපතිවරයෙකු බව මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන්ගේ අදහස විය.

    සමගි ජන බලවේගය ඇතුළු ඇතැම් පක්ෂ විධායක ජනාධිපති ධුරය මුළුමනින්ම අහෝසි කිරීමට යෝජනා කරමින් ඩයස්පෝරාවේ මතයට අනුව කටයුතු කරන බවක් පෙනෙන්නට ඇති බවට ජනතාවගේ චෝදනා එල්ලවී ඇතැයිද මධ්‍යම කාරක සභිකයෝ පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එහිදී පෙන්වා දුන්හ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටට අහිතකර කිසිදු යෝජනාවකට සහයෝගය ලබා නොදෙන බවත් රට බෙදන කිසිදු ප්‍රයත්නයකට ඉඩ නොතබන බවත් රැස්වූ සියලුදෙනාගේ ඒකමතික තීන්දුව විය.                        
                                                                          

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.