fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විපක්ෂනායකගේ අලුත් අවුරුදු පණිවිඩය

    විපක්ෂනායකගේ අලුත් අවුරුදු පණිවිඩය

    මේ දුෂ්කර සමය නිමා වී සශ්‍රීකත්වය රජයන සුභ අලුත් අවුරුද්දක් වේවායි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රාර්ථනා කරයි.

    විපක්ෂ නායකවරයා නිකුත් කරන ලද අලුත් අවුරුදු පණිවිඩය මෙසේයි.

    හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය සේ සැලකෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලුම ශ්‍රී ලාංකේය පුරවැසියන්ට භාග්‍යසම්පන්න එකක් වේවායි ප්‍රාර්ථනා කරමි.

    සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ප්‍රවේශවීම සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ උදාව ලෙස සැලකේ. සිංහලයන්ගේ සේම දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික සූර්ය දින දර්ශනයේ මුල්ම මාසය වන්නේ අප්‍රේල්ය.ආගම් දෙකක් අදහන ජාතීන් දෙකොටසක් එකට එක්ව සමරන අපූර්වතම උත්සවයක් ලෙස සිංහල හින්දු අලුත් අවුරුද්ද හඳුන්වා දිය හැක.

    මෙරට ජනතාව බක් මාසය හඳුන්වන්නේ සෞභාග්‍යයේ මාසය ලෙසය.එකී මාසේ මුල් කරගනිමින් චිරාත් කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකේය ජනතාව අතිශය උත්කර්ෂවත් ලෙස අලුත් අවුරුද්ද සමරනු ලැබීය.

    කෙසේ වෙතත් මීට දෙවසරකට පෙර සිට අපේ රටට, සිංහල අලුත් අවුරුද්ද උදා වූයේ කොහාගේ හඬින් නොව කොරෝනාවෙන් ප්‍රවේසම් වන්න යැයි කරනු ලබන නිවේදනවල හඬිනි. සශ්‍රීකත්වයේ පාඩම කියා දෙන සුවිශේෂී උත්සවයක් වන අලුත් අවුරුද්ද මෙවර උදාවූයේ පිරිසිදු කෑම වේලක් පිස ගැනීමේ දෙගිඩියාව තුළ පවා පුරවැසියන් ව කොටු කරමිනි.

    ආර්ථික සහ දේශපාලන වශයෙන් බරපතල අවදානම් සහගත තැනකට සමස්ත රටම තල්ලු වී ඇති අතර අපේ රටේ ජනතාවගේ සාමාන්‍ය ජීවන තත්ත්වයට අසාමාන්‍ය ලෙස අභියෝග පැමිණ තිබේ. ස්වයංපෝෂිත ආර්ථික රටාවක් පැවති අපේ රට මේ වන විට කඳුළු සලන පාරාදීසයක් බවට පත්ව ඇති අතර පවුලේ සියලු සියලු දෙනා එක්ව සතුටින් සාමයෙන් සහ සැනසිල්ලෙන් අලුත් අවුරුද්ද සැමරීමේ අවස්ථාව පවා අහිමි වී තිබේ.

    එක් අතකින් ජනතාව තමන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම වෙනුවෙන් පෝලිම් වල රස්තියාදු වෙමින් සිටින අතර, අනෙක් අතට මෙරට තරුණ පරම්පරාව ප්‍රමුඛ ජනතාව නිවසෙන් බැහැරව වීදි වලට බැස සිය විරෝධය ආණ්ඩුවට එල්ල කරමින් සිටී.
    මෑත ඉතිහාසයේ රටක් ලෙස අප මුහුණ දෙන බරපතළම තත්ත්වයේ මුව විටට අප පැමිණ ඇති අතර යහපත් අනාගතයක සුභ සිහින යථාර්ථයක් කරගනු පිණිස අපේ රටේ ආදරණීය ජනතාව අරගල කරමින් සිටී.

    යුගයෙන් යුගයට මානව ශිෂ්ටාචාරය පරිණාමය වුයේ සංස්කෘතික මිනිසා ද පරිපූර්ණත්වයට පත් කරමින් වන අතර,ඔවුන්ගේ ජාතිකත්වයට අනන්‍ය වු සංස්කෘතික උළෙල තුළින් ඔවුන් වඩාත් සාධනීය මාවතකට රැගෙන යනු ලබයි.

    සිංහල හිංදු අලුත් අවුරුද්ද ද එවැනි වටිනාකම් වලින් පිරිපුන් සංස්කෘතික උත්සවයකි.
    මහත්සේ කැපකිරීම් කළ ජනතාවට යළි යළිත් කැපකිරීම් කරන්නට කියනවා වෙනුවට, ප්‍රායෝගිකව පාලකයින් එම කටයුත්තට එළඹීම මේ මොහොතේ අත්‍යාවශ්‍යයෙන්ම කළ යුත්තක් බව සඳහන් කරන අතර “මේ දුෂ්කර සමය නිමා වී, සශ්‍රීකත්වය, සාමය සංහිඳියාව සහ සැබෑ සෞභාග්‍යය පිරි හෙට දවසක් උදාවනු දැවුනු දැකීමේ සිහිනය යථාර්ථයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

    ඔබ සියලු දෙනාට ජයග්‍රහණය පිරි සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමි.

    සජිත් ප්‍රේමදාස
    විපක්ෂ නායක

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.