fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්BOI සභාපති හම්බන්තොට වරායට යයි

    BOI සභාපති හම්බන්තොට වරායට යයි

    හම්බන්තොට වරාය විසින් මුහුණ දෙන ගැටළු වලට විසඳුම් සෙවීමටත් වරායේ සේවාවන් පිළිබද අවබෝධයක් ලබා ගැනීමටත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපති රාජා එදිරිසූරිය මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් හම්බන්තොට ජාත්‍යන්තර වරායෙහි (HIP) නිල සංචාරයක යෙදුනි.

    එහිදී ආයෝජන මණ්ඩල සභාපති, අධ්‍යක්ෂ ජනරාල් සහ අධ්‍යක්ෂවරු ඇතුළු පිරිසට, වරාය පිළිබඳ දළ විශ්ලේෂණයක්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමුහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී තිස්ස වික්‍රමසිංහ සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී රේමන්ඩ් මු යන මහත්වරුන් විසින් ඉදිරිපත් කරන ලදි.

    හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය විසින් ලබා ඇති සමස්ත ව්‍යාපාරික ප්‍රගතිය සහ රට වෙත රැගෙන ආ ප්‍රධාන සෘජු විදෙස් ආයෝජන සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජාවට ලක්ව ඇත.

    වරාය සේවා, සමුද්‍ර සේවා, බලශක්ති කේන්ද්‍රස්ථානය, වරාය කාර්මික උද්‍යානය සහ සමෝධාන කාර්ය උපාය වැනි ව්‍යාපාර දියුණු කිරීමේදී හම්බන්තොට ජාත්‍යන්තර වරාය මුහුණ දෙන අභියෝගද දීර්ඝ ලෙස මෙහිදී සාකච්ජාවට ලක්ව තිබේ.

    වරාය මගින් මෙහෙයවනු ලබන පි.සී.ආර් පරීක්ෂණ මධ්‍යස්ථානය, හෝප් ගම්මානය, අලි-මිනිස් ගැටුම් වැලැක්වීමට මුලපිරීම සහ නිපුණතා-පුහුණුවීම් තුළින් දකුණු පළාතේ නිර්මාණය කර ඇති රැකියා අවස්ථා වැනි සමාජ වගකීම් ව්‍යාපෘති පිළිබඳවද නියෝජිත පිරිස දැනුවත් කිරීමට හම්බන්තොට වරාය සමූහය පියවර ගන්නා ලදි.

    හම්බන්තොට වරාය ප්‍රධාන විධායක නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පවසන්නේ, වරාය සේවාවන්හි සහ කර්මාන්ත උද්‍යානයේ උපායමාර්ගික හවුල්කරුවන් වන ජාත්‍යන්තර ආයෝජකයින් සහ ක්‍රියාකරුවන් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන්, ආයෝජන මණ්ඩලය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි.

    “හම්බන්තොට වරායේ සිදු කරන ලද ආයෝජනවල ප්‍රතිලාභ ආයෝජකයින්ට භුක්ති විඳීම සඳහා සුමට ක්‍රියාවලියක් සහතික කිරීම මෙන්ම HIPGහි මූලික ගැටළු තීර්ණාත්මකව විසඳීමටද සභාපතිවරයා සහ නියෝජිත පිරිස එකඟ වුණා. අදාළ රාජ්‍ය ආයතන සමඟ කටයුතු කිරීමේදී ආයෝජන මණ්ඩලය ලබාදුන් සහයෝගය අපි බෙහෙවින් අගය කරනවා.”

    “ආයෝජන මණ්ඩලයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ මණ්ඩලය යටතේ ලියාපදිංචි වී ඇති උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘතියක් වන HIPG ඇතුළු අනෙකුත් ආයෝජකයින්ට සහාය වීමයි. වරාය සේවා, කර්මාන්තපුරය, බලශක්ති සේවා පර්යන්තය තුළ සිදු කරන සියලුම කාර්යයන් සහ ඔවුන් මුහුණ දෙන වත්මන් දුෂ්කරතා සහ ගැටළු පිළිබඳ අප ඉතා බැරෑරුම් ලෙස සාකච්ජා කළා. සියළුම ගැටළු විවේචනාත්මකව ඇගයීමට ලක් කර, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සමඟ ඒ පිළිබඳව සාකච්ජා කිරීමට අප බලාපොරොත්තු වෙමු. අප විසින් ගැටළු වඩාත් හොඳින් අධ්‍යනය කොට මූලික හේතු හඳුනා ගැනීමෙන් අනතුරුව රාජ්‍ය ආයතන වැනි අනෙකුත් පාර්ශ්ව සමඟ මැදිහත්ව වඩාත් හොඳ විසඳුම් ලබා දීමට අදහස් කරනවා,” ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය මහතා සඳහන් කළේය.

    ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී සිටින ආර්ථික පසුබෑම්වලින් ඉතාමත් ඉක්මනින්ම මිදී වැඩි සංවර්ධන වේගයක් අත්පත් කරගනු ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතාගේ අදහසයි.

    “ආයෝජක ප්‍රජාවට අවස්ථා උදා කර දෙන තෝතැන්නක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම සඳහා කළ හැකි සියල්ල ඉටු කිරීමට අප බැඳී සිටිනවා. දැනටමත් අපගේ වරාය ආයෝජන සේවා කණ්ඩායම ශ්‍රී ලංකාව විදේශ රටවල ප්‍රවර්ධනය කිරීමේ ප්‍රයන්තයක යෙදී සිටින අතර අපගේ ‘HIP Speed’ සැලැස්ම ක්‍රියාවලීන් වේගවත් කරමින් කර්මාන්තපුරය තුළ නව ව්‍යාපාර පිහිටුවීමේදී ඇති වන බාධක මඟහරවා ගැනීම සඳහා ද උපකාරී වනවා. සාර්ථක බහුකාර්ය වරායක් ලෙස හම්බන්තොට වරාය ස්ථානගත කිරීම අපගේ අභිප්‍රාය වන අතර ඒ සඳහා රාජ්‍ය අංශයේ සහාය අත්‍යවශ්‍ය බව සඳහන් කළ යුතුමයි.”යැයි ඔහු සඳහන් කළේය.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) දැනටමත් හම්බන්තොට සමුද්‍රීය මධ්‍යස්ථානයේ කාර්යාල පිහිටුවා ඇත. වඩාත් ආකර්ශනීය ආයෝජන වාතාවරණයක් නිර්මාණය කිරීම සඳහා වරාය ක්‍රියාකරු රාජ්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කිරීමට සෑම පියවරක්ම ගනිමින් සිටින බව හම්බන්තොට වරාය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.