fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාවෙන් රතු නිවේදන ගත් 129ක් ගැන ඉන්ටර්පෝල් වෙබ් එකේ නෑ

    ශ්‍රී ලංකාවෙන් රතු නිවේදන ගත් 129ක් ගැන ඉන්ටර්පෝල් වෙබ් එකේ නෑ

    ජාත්‍යන්තර පොලීසිය මඟින් මෙරට අපරාධකරුවන් 133 දෙනෙකුට ශ්‍රී ලංකා පොලීසිය රතු නිවේදන ලබාගෙන ඇතත් ජාත්‍යන්තර පොලිස් වෙබ් අඩවිය මඟින් ප්‍රසිද්ධකර ඇත්තේ ඒ අයගෙන් 04 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු පමණි.

    ජාත්‍යන්තර පොලීස් වෙබ් අඩවිය මඟින් අද වන විට ප්‍රසිද්ධකර ඇති සමස්ත රතු නිවේදනකරුවන් ගණන 7306 දෙනෙකි.

    ඒ අතර සිටින ශ්‍රී ලාංකිකයන් ගණන 08 කි. එහෙත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ශ්‍රී ලංකාවේ ඉල්ලීම් මත රතු නිවේදන නිකුත්කර ඇති අපරාධකරුවන් ගණන 04 කි.

    සෙසු අපරාධකරුවන්ගෙන් දෙදෙනෙක් ඉන්දියාවේද, සෙසු දෙදෙනා රොමේනියාව සහ කැනඩාව යන රටවල සිදුවූ අපරාධ සඳහා එම රටවලට අවශ්‍ය පුද්ගලයින්ය.

    ශ්‍රී ලංකාවට අවශ්‍ය අපරාධකරුවන් වන්නේ ලක්ෂමන් කදීර්ගාමර් ඝාතනයට අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නඩරාජා සිවරාජන්, මිනිස් ඝාතන සහ මංකොල්ලකෑම්වලට අවශ්‍ය විග්නරාසා සෙල්වරත්නන්, අත්බෝම්බ දෙකක් සහ පතොරම් 200 ක් ළග තබා ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය මුනිසාමි සහ පාතාල අපරාධකරුවෙක් වන කොස්ගොඩ සුජී යන සිව් දෙනාය. කොස්ගොඩ සුජීගේ නම ඉදිරියෙන් සඳහන්ව ඇති චෝදනාව වන්නේ මිනිස් ඝාතනයන්ය.

    රොමේනියාවට අවශ්‍ය ශ්‍රී ලාංකිකයා වන්නේ කුමාරසාමි නවනේසන් නැමැත්තාය. මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් ඔහුව එරටට අවශ්‍යව ඇත. කැනඩාවට අවශ්‍යව ඇත්තේ මානික්කවාසගර් රාජා නැමැති අයෙකි. ඔහුටද එරෙහිව ඇත්තේ මිනිස් ඝාතනයකි. ඉන්දියාවට අවශ්‍යව ඇති දෙදෙනාගෙන් අයෙක් වන්නේ මොහොමඩ් පවුමිය. ව්‍යාජ මුදල් ජාවරම සම්බන්ධයෙන් ඔහුව ඉන්දියාවට අවශ්‍යව ඇති අතර දෙවැන්නා කුමාරන් පද්මනාදන්ය. අපරාධ සදහා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සහ ත්‍රස්තවාදී පනතේ විධිවිධානයන්ට අනුව ඔහුව ඉන්දියාවට අවශ්‍යව තිබේ.

    මේ හැරුණු කොට වෙන කිසිදු රතු වරෙන්තු නිකුත් කළේයැයි සඳහන් කිසිවෙකුගේත් නම් මේ වන විට ජාත්‍යන්තර පොලිස් වෙබ් අඩවියේ සඳහන්ව නැත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.