fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සම්බුදු සසුන රැකෙන අලුත් ආණ්ඩු ක්‍රමයක් පැතූ කිරි වෙහෙරේ අධිෂ්ඨාන පූජාව

    සම්බුදු සසුන රැකෙන අලුත් ආණ්ඩු ක්‍රමයක් පැතූ කිරි වෙහෙරේ අධිෂ්ඨාන පූජාව

    කතරගම, ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් අභියස දී පැවැත්වෙන අධිෂ්ඨාන පූජාව සහ සත්‍ය ක්‍රියාව 27 වන වරටත් මෙවරද මහා සංඝ රත්නයේ ආශීර්වාද මධ්‍යයේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ නායකත්වයෙන් පැවැත්විණි.

    මහජන එක්සත් පෙරමුණ හා ජාතික සංවිධාන වසරක් පාසා අඛණ්ඩව පවත්වාගෙන එන මෙම සත්‍ය ක්‍රියාව සහ අධිෂ්ඨාන පූජාව, මෙවර 2021 දෙසැම්බර් 04 වනදා පස්වරුවේ ආරම්භ වූයේ, කතරගම වාසනා හස්තියා පෙරටු කරගත් චාම් පෙරහරකින් වැඩම කළ කංචුකය කිරි වෙහෙර වෙත පූජා කරමිනි.

    කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ඉතා අඩු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙවර එය පැවැත්වුනත්, එහි ගාම්භිරත්වයට ඉන් කිසිදු හානියක් සිදු නොවීය.

    මෙම අවස්ථාවට එක්වූ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පිළිගැනීමේ කතාව කළ අතර පසුව රුහුණු මාගම්පත්තුවේ අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති කතරගම ජාතික පාසලේ හිටපු විදුහල්පති ශ්‍රාස්ත්‍රපති අති පූජ්‍ය කපුගම සරණතිස්ස නායක හිමියෝ අනුසාසනාවක් කරමින්, මෙම ඓතිහාසික අධිෂ්ඨාන පූජාවේ වැදගත්කම සිහිපත් කළහ.

    “මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ලා එක්ක තිස් අවුරුදු යුද්ධයෙන් රට ගලවගන්න, පළමු ශාන්ති කර්මය තමයි, දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ කරපු මේ අධිෂ්ඨාන පූජාව. උදලු මිට පවා පිටරටින් ගේන සංස්කෘතියක් මේ රටේ ඇති කරලා තියෙනවා. ඒකාධිපති එදා රජවරු හදපු වැව ටික නැත්නම් කන්න දේවලුත් නැතිවෙනවා. ඒ නිසා ඒකාධිපතිත්වයක් ඈත් වූ හැමවිටම අවුලක් වුනා. අසීමිත නිදහසක් නොදී, මේ අවස්ථාව අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න යොදවන්න ඕන.”

    අනතුරුව මහා සංඝ රත්නයේ ආශීර්වාද මධ්‍යයේ ම.එ.පෙ. නායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එම අවස්ථාවට එක්ව සිටි රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පා.ම.යදාමිණි ගුණවර්ධන, පාම. ජගත් පුෂ්පකුමාර  මෙන්ම රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ශාන් ගුණසේකර සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන සමන්මලී සකලසූරිය, සලෝචන ගමගේ ඇතුළු පිරිස කිරි වෙහෙර පුද බිම ඉදිරිපිට,මවුබිමේ සුරක්ෂාව උදෙසා, ගැඹුරුතම අධ්‍යාත්මික ශක්තිය පතා “කතරගම අධිෂ්ඨාන සත්‍ය ක්‍රියාව”ට එක් වූහ.

    බුදු සසුනේ චිර පැවැත්මත් – මවුබිමේ ස්වාධීනත්වයත් උදෙසා වන,ගැඹුරුතම ආධ්‍යාත්මික ශක්තිය පතා සිදු කෙරුණු සත්‍ය ක්‍රියාවට එදින කිරි වෙහෙර පුද බිම වෙත පැමිණ සිටි සියලු දෙනගේද ආශීර්වාදය හිමි විය.

    අධිෂ්ඨාන පූජාව සහ සත්‍ය ක්‍රියාව අවසානයේ පැමිණ සිටි පිරිස ඇමතු දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මෙහි අධිෂ්ඨානය යලි සිහිපත් කළේය.

    ” සම්බුද්ධ සාසනය ආරක්ෂා වෙන ශක්තිමත් , අලුත් ආණ්ඩු ක්‍රමයක් ඇති කරන්නට අද දවසේ අපි අධිෂ්ඨාන කරගත යුතුයි. පිරිහී යන මේ සමානුපාතික ඡන්ද ක්‍රමය මිශ්‍ර ඡන්ද ක්‍රමයකට පරිවර්තනය කරගන්නට අධිෂ්ඨාන කරගත යුතුයි. අතිගරු ජනාධිපතිතුමා එයට ආශීර්වාද කර තිබෙනවා. ඒ අනුව එය කළ හැකි කාලය මෙය බව පැහැදිලියි. ඒ වගේම  අහරින් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් බිහි කිරීමට රාජ්‍ය නායකයා ඇතුළු සියලු දෙනාට උට්ඨාන වීර්යයෙන් යුතුව කටයුතු කිරීම සඳහා, ශක්තිය ලැබේවා කියන අධිෂ්ඨානය ඇතිකරගත යුතුයි. මේ ඓතිහාසික කිරි වෙහෙර චෛත්‍යරාජයාණන් අභියසදී ඒ වෙනුවෙන් කැපවෙන බවට අධිෂ්ඨාන කරගත යුතුයි. ත්‍රස්තවාදයෙන් මාතෘ භුමිය ආරක්ෂා කරගන්නට දිවි දුන් රණවිරුවන්ට, නායකත්වය දුන් , රට එක්සේසත් කළ මහින්ද රාජපක්ෂ මැතිතුමාට කෘතවේදීත්වය පළ කරන ගමන්, එදා අපේ අධිෂ්ඨානය විජයග්‍රහණය කරා ගෙන ගිය හැටි, ගෙන ගිය සියලු දෙනා සිහිපත් කළ යුතුයි. …..”

    සංඛපාල රජමහා විහාරයේ භාරකාර පුජ්‍ය කොකාවල කොසල නායක හිමි, කිරිවෙහෙර තේවාව බාර  පූජ්‍ය තලගල ඥානින්ද හිමි, පුජ්‍ය මාලේවන ධර්මවිජය හිමි, හංවැල්ල ආටිගල ශ්‍රී සුගතබිම්බාරාම විහාරාධිපති පුජ්‍ය මඩවලතැන්නේ ජිනරතණ හිමි, ආචාර්ය කිඹුල්කැටියේ නාහිත හිමි, කතරගම සද්ධාසෝම පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති නවගමුවේ මෛත්‍රී හිමි, පුංචි සීගිරියේ විහාරාධිපති බඹරවාන සද්ධාතිස්ස හිමි, පූජ්‍ය තංගල්ලේ ගෞතම හිමියෝ ද  මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

    අතීතයේ ගැමුණු කුමරුද රට ඒකචත්‍ර කිරීම අරමුණු කොටගෙන, අධ්‍යාත්මික ශක්තිය අධිෂ්ඨාන කරගනිමින් සත්‍ය ක්‍රියා කළේද, ඓතිහාසික කිරි වෙහෙර චෛත්‍යරාජයාණන් අභියස මේ මළුවේදී බව ඉතිහාසයේ සටහන් වී තිබේ. මමුබිමේ  ඒකීයභාවය – ආරක්ෂාව – දියුණුව – සාමය ප්‍රර්ථනා කරමින්, මහජන එක්සත් පෙරමුණ මේ ඓතිහාසික සත්‍ය ක්‍රියාව ආරම්භ කළේ මිට වසර 27කට පෙර 1995 අගෝස්තු 24 වන දාය. එදින දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් දැවැන්ත රථ පෙළපාලියකින්, කැලණි මිටියාවත ඔස්සේ සමන් දෙවි අඩවිය හරහා දේශ මාමක බලවේග සමග දේශයේ දු දරුවන් ඒකරාශී කරගනිමින්, මහජන එක්සත් පෙරමුණ කොළඹ සිට ඓතිහාසික කතරගම කිරි වෙහෙර පුද බිම වෙත පිවිසියද මෙවර පවතින සෞඛ්‍ය තත්ත්වය සලකා චාම් එහෙත් අභිමානවත් අන්දමින් සත්‍ය ක්‍රියාව සහ අධිෂ්ඨාන පූජාව සිදු කෙරිණි.

    1996 අගෝස්තු 25 වන දින නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී, දේශමාමක ජාතික නායකයෝ “කතරගම ප්‍රකාශනය” අත්සන් තැබුවේද 1995 ඇරඹුන මෙම සත්‍ය ක්‍රියාවේ මහඟු ඵලයක් ලෙසය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.