fbpx
තවත්
    මුල් පිටුවCOVIDඑන්නත් කාඩ්පත අනිවාර්යයි - බූස්ටර් දෙන්නෙ සති 2යි

    එන්නත් කාඩ්පත අනිවාර්යයි – බූස්ටර් දෙන්නෙ සති 2යි

    ඉදිරියේ දී පොදු ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කොවිඩ් කමිටුව අද තීරණය කර තිබේ.

    කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට එන්නත නොගත් පිරිසට පොදු ස්ථානවලට ඇතුළුවීම වැළැක්වීම සඳහා මේ වනවිට නීති උපදෙස් ගෙන ඇති අතර එන්නත් කාඩ් පත අනිවාර්යය කරනුයේ ඒ අනුවයි.

    එන්නත ඉදිරි සතිදෙක තුළ ලබාදී අවසන් කරන්නැයි ජනාධිපතිවරයා විසින් අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

    ඒ අනුව එළඹෙන උත්සව සමයේදී කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා අධි මාත්‍රා එන්නත හෙවත් බූස්ටර් එන්නත ලබාදීමට අපේක්ෂා කෙරේ.

    කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව කීය.

    දෙවන මාත්‍රාව ද ලබාගෙන මාස 03ක් සම්පූර්ණ කළ සියලුදෙනා අධි මාත්‍රාව ලබාගැනීමට සුදුසුකම් සපුරන බවද මෙහිදී අවධාරණය කෙරිණි.

    ඒ අනුව එන්නත ලබාදෙන ඕනෑම ස්ථානයකින් හෙට (11) සිට දිනපතා අධි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ගැනීමට අවස්ථාව සැලසේ.

    සිදුකළ නිරීක්ෂණයන්ට අනුව මේ දිනවල වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් ඉහළ ප්‍රතිශතය එන්නත නොගත් අය වන අතර, ඉන් බහුතරය තරුණ පිරිස බව සෞඛ්‍ය අංශ නිලධාරීන් පෙන්වා දී තිබේ.

    කොවිඩ් ආසාදිතව අසාධ්‍යවීම සහ මරණ සංඛ්‍යාව අවම කරගැනීමට එන්නත ලබාගැනීම අනිවාර්යයෙන් සිදුවිය යුතු බවද මෙහිදී අවධාරණය විය.

    මේ පිළිබඳ තරුණ පිරිස් දැනුවත් කර, කඩිනමින් එන්නත ලබාදීමට පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

    වයස අවුරුදු 16 – 19ත් අතර දරුවන්ට දෙවන මාත්‍රාව සහ 12 – 15ත් අතර සියලු දරුවන්ට පළමු මාත්‍රාව ලබාදීමට අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සමග සැලසුම් කොට එන්නත ලබාදීමට කඩිනමින් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

    විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගොස් ඇති නිසාත් ගුවන් සමාගම් ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩිකර ඇති බවත් මෙම රැස්වීමේදී අනාවරණය විය.
    ඒ අනුව සංචාරක ව්‍යාපාරයේ පවතින ප්‍රවර්ධනය සැලකිල්ලට ගෙන, පනවා ඇති සීමා තවදුරටත් ලිහිල් කිරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.