fbpx
තවත්
    මුල් පිටුවspecialකුලපති සහ මහාචාර්ය තනතුරු…!

    කුලපති සහ මහාචාර්ය තනතුරු…!


    සටහනමහාචාර්ය සුනෙත් අගම්පොඩි
    රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ වසංගත රෝග විද්‍යාඥ

     

    පසුගිය දින කිහිපය තුල ලංකාවේ වූ කුලපති පත්වීම් හරහා විශ්ව විද්‍යාල පිලිබඳ කතිකාවතක් ඇතිවූ අතර ඉන් එක පත් කිරීමක් මහාචාර්ය පදවියක් ඇති අයෙකු වීමත් හරහා මේ කතිකාවත තවත් අතකට යොමුව ඇත.

    මේ පත්වීම් සිදු කරන්නේ කෙසේද?

    කුලපති යනු විශ්ව විද්‍යාලයේ නාමික තනතුරක් වන අතර දේශපාලනික පත්කිරීමකි. පත් කිරීම කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.
    උප කුලපති යනු විශ්ව විද්‍යාලයේ සියලු තීන්දු තීරණ ගන්නා තනතුරය. මෙහි මුලික නම (නම් තුනක්) යෝජනා යොමුකරනුයේ විශ්ව විද්‍යාල සනාතන සභාව තුලිනි. සනාතන සභාවේ සිටිනුයේ ආචාර්ය මහාචාර්ය වරුන් විසින් පත්කරගත් පීඨධිපතිවරු සහ අදාළ අමාත්‍යවරයා හරහා පත්වීම් ලැබූ සභිකයන්ය. අවසන් පත් කිරීම කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.
    විශ්ව විද්‍යාලයක මහාචාර්ය පත්වීමක් ලබා දෙන්නේ ඒ මහාචාර්ය වරයාගේ ඉගැන්වීම්/ ක්ෂේත්‍රයේ විශාධරත්වය/ශාස්ත්‍රීය දියුණුව යන අංශද , පර්යේෂණ/නව නිර්මාණ ක්‍රියාවලියද, ආයතනික/ජාතික/අන්තර්ජාතික දායකත්වයද ඇගයීමට ලක්කරන අංශ ප්‍රධානී, පීඨධිපති, උපකුලපති, අනෙකුත් මහාචාර්යවරු ඇතුළු සමුහයක් විසිනි.

    (මේ සටහන ඉහත අවස්ථා තුනට පමණක් සිමා කරමි. බොහෝසේ කතා කලයුතු අනෙකුත් පත්වීම් වෙනමම සාකච්චා කල යුතුය)

    ඉහත කී කුලපති තනතුරට නුසුදුස්සෙකු පත් කිරීම අදාළ විශ්ව විද්‍යාලයට නිග්‍රහයකි. උප කුලපති තනතුරට නුසුදුස්සෙකු පත් කිරීම අදාළ විශ්ව විද්‍යාලයට නිග්‍රහයක් පමණක් නොවේ විනාශ කිරීමකි. එහෙත් මහාචාර්ය තනතුරක් සදහා නුසුදුස්සන් පත්කිරීම මුළු මහත් උසස් අධ්‍යාපනයම නිග්‍රහයට පාත්‍ර කිරීමක් සේම මුළුමනින්ම විනාශ කිරීමකි.

    දේශපාලනික පත්වීම් ගැන අපට බොහෝ විවේචන තිබුනද ඉහත තුන්වන අවස්තාව (මහාචාර්යවරුන් පත්කිරීම) පිලිබඳ වගකීම ඇත්තේ විශ්ව විද්‍යාල පද්ධතිය තුල සිටිනා පිරිසටමය. අප විශ්ව විද්‍යාල පද්ධතිය ගරා වැටීම ගැන සාකච්චා කරන්නේ නම් පළමුව විශ්ව විද්‍යාල පද්දතිය තුලම සිදුවන ගරා වැටීම නැවැත්විය යුතුය. මේ පිළිබඳව බොහෝ දෙනෙක් කතා නොකරන්නේ එය උඩබලාගෙන කෙල ගසා ගැනීමක් හෝ “පාවා දීමක්” ලෙස සලකන බැවින් සහ ඉන් අනතුරුව විශ්ව විද්‍යාල පද්ධතිය තුල සිටීම ඉතාම අසීරු කාර්යක් බැවිනි. එනමුත් මේ සිදුවෙමින් පවත්නා දේ නිවැරදි කිරීමේ වගකීම ඇත්තේ විශ්ව විද්‍යාලය තුල සිටින පිරිසටමය.
    මහාචාර්යවරයෙකු පත්කරන්නේ කෙසේද?

    ශ්‍රී ලංකාව තුල මහාචාර්යවරයෙකු පත්කිරීම සඳහා නිකුත්කල චක්‍ර ලේඛයක් ඇත. එය මෙම වෙබ් ලිපිනයෙන් (https://tinyurl.com/j33bmpjd) මහජනතාවට ලබාගත හැකිවනු අතර එය රහස් ලියවිල්ලක් නොවේ. මේ පත්කිරීම් පිලිබඳ ඇති උපදෙස් මාලාව මුළුමනින්ම පැහැදිලි කිරීමට කාලය වැය කිරීමට ඇති අකමැත්ත නිසා එහි එක කොටසක්/ ජනතාවට සොයා බැලිය හැකි කොටසක් පමණක් මෙහි විස්තර කරමි.

    මහාචාර්යවරයෙක් වීම සඳහා අවශ්‍ය ලකුණුවලින් වැඩිම ප්‍රමාණය (අවම ලකුණු 50ක්) නිර්දේශ කොට ඇත්තේ පර්යේෂණ සහ නවනිපැයුම්, නිර්මාණ ( RESEARCH, SCHOLARSHIP AND CREATIVE WORK) සඳහාය.

    මේ ලකුණු අතරින් ඉහලම ලකුණු ලබා දීම සිදුවන්නේ index journal ලෙස හදුනාගත් සඟරාවල සිදුකරන පළකිරීම් වෙනුවෙනි. යමෙකුට මේ සඟරා index journal යටතේ ගැනෙනවාද යන්න ඉතා පහසුවෙන් මෙම (https://mjl.clarivate.com/home) වෙබ් අඩවියෙන් පරික්ෂා කල හැක. මේ index සඟරා ගැන ඇති විවේචන ගැන මම විග්‍රහ නොකරන්නේ, මෙම ලිපියේ අරමුණ දැනට ඇති තත්වය පැහැදිලි කිරීම පමණකි. (එනමුදු මේ index journal යනු ලෝකය පුරාම බෙහෙවින් පිළිගත් දෙයකි). ශ්‍රී ලංකාව තුල ඇති විශ්ව විද්‍යාල සහ මහාචාර්යවරු ලෝකයේ පිළිගත් මට්ටමක තබා ගැනීමට නම් මේ ප්‍රධාන පෙලේ සඟරාවල පර්යේෂණ පත්‍රිකා පලවී තිබීම අත්‍යාවශ්‍යය.

    දෙවැනි මට්ටම නම් වසරකට දෙවරක්වත් පලකරන, අගයීමකට ලක්වීමෙන් පසුව පමණක් ප්‍රකාශයට පත්වන (refereed journals) නමුත් index journal ගණයට නොගැනෙන සඟරා වල පලකරන පර්යේෂණ පත්‍රිකාය. මේ කාණ්ඩය ඉතා පුළුල් පරාසයක විහිදෙන අතර ඉතා විශිෂ්ඨ ගනයේ අන්තර්ජාතික හෝ ජාතික සඟරා මෙන්ම, කිහිප දෙනෙක්ගේ කණ්ඩායමක් එක්වී පවත්වාගෙන යන කුඩා සඟරාවක් වුවද මෙම කාණ්ඩයට අයත්විය හැක.

    මෙහි තුන්වන මට්ටමවන්නේ index නොවන, වසරකට දෙවතාවක් පල නොකරන අගයීමකට ලක්වීමෙන් පසුව පමණක් ප්‍රකාශයට පත්වන (refereed journals) සඟරා වල පලකරන පර්යේෂණ පත්‍රිකාය. ඉහත දෙවැනි තලයේ සඟරා මෙන්ම මේ සඟරාද පුළුල් පරාසයක විහිදේ.

    ඉන් අනතුරුව ලකුණු හිමිවන්නේ ජාතික හෝ අන්තර්ජාතික සම්මන්ත්‍රණ වලදී ඉදිරිපත්කරන පර්යේෂන පත්‍රිකා සඳහාය. මේ සඳහා උපරිම ලකුණු පහළොවක සීමාවක් ඇත.

    මීට අමතරව තම පර්යේෂණ පත්‍රිකාවක ප්‍රතිපල අන් පර්යේෂකයන් විසින් ඔවුන්ගේ පර්යේෂන පත්‍රිකා වල යොදා ගැනීම සඳහා වෙනම ලකුණු ප්‍රමාණයක් එක්වේ. මෙහිදී එක පත්‍රිකාවක් සදහා ලබාගත හැකි උපරිම ලකුණු ප්‍රමාණය 10කට සීමා කොට ඇත.

    පර්යේෂණ පත්‍රිකා වලට අනතුරුව, යමෙකු තම විෂය ක්ෂේත්‍රය තුල පලකරන පෙළපොත් සහ අනෙකුත් ප්‍රකාශන සදහාද, සඟරාවක කතෘ ධුරය දැරීම සඳහාද, සඟරා සඳහා එවන පත්‍රිකා ඇගයීම සඳහාද යම් ලකුණු ප්‍රමාණයක් ලබා ගත හැක.

    මිට අමතරව විශේෂයෙන්ම සමාජ විද්‍යා සහ කළා ක්ෂේත්‍රයන්ගේ තම විෂය පථය තුල සිදුකෙරෙන නිර්මාණාත්මක ක්‍රියාවලි සඳහාද ලකුණු ප්‍රමාණයක් වෙන්ව ඇත.

    අවසන් වශයෙන් නව නිපැයුම් සඳහා වන පේටන්ට් බලපත්‍ර වෙනුවෙන්ද සිමා රහිත ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවක් මේ චක්‍රලේඛයේ ඇත.

    මේ සියලුදෙයට අමතරව අදාළ අයදුම්කරු විසින් ප්‍රකාශිත ප්‍රධානම පත්‍රිකා 5ක් විශේෂයෙන් ඉදිරිපත් කල යුතු අතර මේ පත්‍රිකා පහ විශේෂ ඇගයීමකට ලක්විය යුතුය. මේ පත්‍රිකා සඳහා ලකුණු විශේසයෙන් හිමිනොවන නමුදු අදාළ අයදුක්කරුගෙන් පර්යේෂණ ක්ෂේත්‍රයට වූ දායකත්වය ප්‍රධාන ලෙසම මේ පත්‍රිකා පහ හරහා සලකා බලමු ලබයි.

    මේ චක්‍ර ලේඛය මතුපිටින් පරික්ෂාකොට බැලුවහොත් මහාචාර්ය ධුරයක් ලබා ගැනීම සැලසුම් සහගතව පහසුවෙන් කල හැකි දෙයක් සේ පෙනී යයි. උදාහරණයක් ලෙස වුර්තිය සගයන් කිහිප දෙනෙක් එක්ව, තමන්ම කතෘ මණ්ඩලය ලෙස ක්‍රියා කරමින් වසරකට වරක් හෝ දෙකක් තම තමන්ගේ පත්‍රිකා කිහිපයක් පලකොට (ඔවුන්ම ඇගයීමෙන් අනතුරුව), ඒ පත්‍රිකා තුලම ඉන් පෙර පලකල පත්‍රිකා ගැන සදහන් කොට (self citation) ලකුණු ප්‍රමාණයක්ද, ඔවුනොවුන් එක්ව සම්මන්ත්‍රණයක් සංවිධානය කොට එය “අන්තර්ජාතික” ලෙස නම් කොට (International Conference) එහි පත්‍රිකා ප්‍රකාශ කොට ලකුණු 15ක් සහ කිසිදු ඇගයීමක් නොමැතිව තමා විසින් පලකරන පොත් (පෙළපොත් නොවේ) කිහිපයකින්ද මේ ලකුණු සකසා ගත හැකි බව පරිස්සමින් මේ පිලිබඳ විග්‍රහ කරන්නෙකුට පෙනී යාමට ඉඩ ඇත.

    එනමුත් මේ චක්‍රලේඛයේ මේ ඇගයීම පිලිබඳ සම්පුරණ වගකීම මේ අයදුම්පත්‍රය සලකා බලන මහාචාර්යවරුනට පවරා ඇත. යමෙක් මේ චක්‍ර ලේඛයේ හිදැස් ඇති සේ තර්ක කල හැකි වුවද මහාචාර්යවරයෙක් ලෙස මේ චක්‍ර ලේඛය නිවැරදි ලෙස අර්ථ නිරුපනය කිරීම සහ තම වුර්තිය ගරුත්වය ආරක්ෂා කරමින් මේ ඇගයීම කිරීම 100%ක්ම මහාචාර්යවරයෙකුගේ වගකීමකි (academic integrity and responsibility). මහාචාර්යවරයෙක් මෙවැනි පත්‍රිකා ඇගයීමේදී එම පත්‍රිකා වල ගුණාත්මකභාවය, එහි ප්‍රතිපල විෂය ක්ෂේත්‍රයට කරන බලපෑම සහ පර්යේෂණය තුල අදාළ අයදුම්කරුගේ කාර්යභාරය තියුණු විග්‍රහයකට ලක්කිරීමෙන් අනතුරුව පමණක් ලකුණු ලබාදීම සිදු කලයුතුය. විශේෂයෙන්ම අදාළ අයදුම්කරු ඉදිරිපත්කරන ප්‍රධාන පත්‍රිකා පහ තුල මහාචාර්ය පදවියක් ලබා දීමට තරම් ප්‍රධාන පෙලේ දායකත්වයක් එම පුද්ගලයා පර්යේෂණ ක්ෂේත්‍රයට ලබාදී ඇත්ද යනවග විග්‍රහ කල යුතුය.

    මේ ලකුණු ලබාදීම හරිහැටි නොකළහොත් අවශ්‍ය මුලික අවශ්‍යතා සම්පුර්ණ නොකළ පුද්ගලයෙකුට මහාචාර්ය පදවියක් ලබා දීමේ සම්පුර්ණ වගකීම පැවරෙන්නේ අදාළ ඇගයීම කරන මහාචාර්යවරුන්ටයි. හිතවත්කම් හෝ හිත්නරක්වීම් නවතාගැනීම සඳහා මේ වගකීම හරිහැටි ඉටු නොකළහොත් අදාළ මහාචාර්යවරුන්ද තම වුර්තිය වගකීම නොදන්නා සහ අදාළ ධුරයට නුසුදුසු ලෙස සැලකිය හැක.යමෙක් එම නිර්දේශ අයුතුලෙස භාවිතාකොට මහාචාර්ය පදවි ලබාදීම සිදු කිරීම සිදුවේනම් මේ අපදකිනා ගරා වැටීම් විෂ චක්‍රයක් සේ දිගින් දිගට සිදුවනු ඇත.

    වරින් වර පත්වන සමහර උපකුලපතිවරුන් මේ ගැන දැඩි අවධානයක් යොමු කොට මේ ක්‍රියාවලිය නිසිලෙස සිදුකිරීමට ක්‍රියා කරන අතර සමහරෙක් මෙය නිසිලෙස අධීක්ෂණයට භාජනය නොකරයි.

    මේ කාරනා කෙසේ වුවත්, රටේ මහජනතාවට ආචාර්ය මහාචාර්ය වරුන්ගේ පර්යේෂණ ක්ෂේත්‍රයට ඇති දායකත්වය පිළිබඳව යම් හෝ අවබෝධයක් ලබා ගැනීම අපහසු නොවේ.

    සියලුම දෑ digital තාක්ෂනය හරහා බලා ගත හැකි මොහොතක Google Scholar Profiles හරහා ඕනෑම ආචාර්ය මහාචාර්ය වරයෙකුගේ නම ඇතුළුකොට අදාළ පුද්ගලයාගේ පර්යේෂණ පත්‍රිකා (research publications), ඔහුගේ දායකත්වය (authorship detail), පලකොට ඇති සඟරා, අන් පර්යේෂකයන් එම පත්‍රිකා පිලිබඳ දක්වා ඇති උනන්දුව (citations) යනාදී සියල්ල මේ හරහා බලාගත හැක.

    H index හෝ citation යනාදී දර්ශක පර්යේෂකයෙකුගේ පර්යේෂණ පිලිබඳ සම්පුර්ණ අවබෝධයක් ලබා නොදෙන මුත් අප විශ්වවිද්‍යාල සහ එහි ආචාර්ය මහාචාර්යවරු අන්තර්ජාතික තලයේ ලා සැලකීමට නම් මේ දර්ශකවල අවම මට්ටමක් හෝ පවත්වාගෙන යාමට අප ක්‍රියා කල යුතුමය.

    දැනට පවතින තත්වය යටතේ විශ්ව විද්‍යාල හෝ රටේ ජනතාවට ඇති ප්‍රශ්න කිහිපයකි.

    1. දැනට සිදු කෙරෙන මහාචාර්ය පත්වීම් වලදී අදාළ ඇගයීම් නිසි පරිදි සිදුවේද?
    2. මේ ඇගයීම් වලදී චක්‍ර ලේඛයේ ඇති හිදැස් හරහා රිංගා යාම අධීක්ෂණයක් සිදු වේද?
    3. ඇගයීම් කිරීමේදී දැනට සිටින මහාචාර්යවරු තම තනතුරට තමාගේ ඇති වගකීම් නිසිලෙස ඉටුකරන්නේද? (ලංකාව වැනි කුඩා රටක තම ක්ෂේත්‍රයේ සියලුම දෙනා දන්නා හදුනන පුද්ගලයන්ය. ලකුණු ලබා දීම හෝ නොදීම යන දෙකම පුද්ගලික හේතු මත සිදුවිය හැක)

    — — — — — — — — — — — — — — — — — — —

    මේ සියලු ප්‍රශ්න වලට පිළිතුර “ඔව්” මේ සටහන මින් ඉදිරියට සාකච්චාවක් අනවශ්‍යය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.