fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්රන්මල්ට එරෙහි පරීක්ෂණය ලිපි ගොනුවකට පමණක් සීමා වෙලා

    රන්මල්ට එරෙහි පරීක්ෂණය ලිපි ගොනුවකට පමණක් සීමා වෙලා

    රත්නපුර කිරිඇල්ල මාර්ගයේදී පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට දැනුම් දී සතියකට වැඩි කාලයක් ගතවී ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් ආරම්භවී නැති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    විමර්ශන ගොනුවක් පමණක් විවෘතකර එය මේ වන විට විශේෂ විමර්ශන ඒකකයේ ඇතත් අඩුම තරමින් මෙම සිදුවීමට භාජනය වූ පුද්ගලයාගෙන් හෝ පහරදීම වූ ස්ථානයට හෝ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් ගොස් නැත.

    පහරදීමෙන් පසු තමාව බලහත්කාරයෙන් රැගෙන ගොස් කිරිඇල්ල පොලිස් ස්ථානයේ රදවාගෙන නිරුවත්කර කාමරයක දණගස්වා ඡායාරූප පවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා විසින් ලබාගත් බවට පහරකෑමට ලක්වූ පුද්ගලයා විසින් නීලකන්දන් සහ නීලකන්දන් නීති සමාගම මගින් ජනාධිපතිවරයාව දැනුවත්කමින් පෙරේදා ලිපියක් ද යොමුකර ඇත.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එසේ නිරුවත්කරමින් පහරදීම කර ඇත්තේ තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් ඉදිරියේදී බව ද ජනාධිපතිවරයාව දැනුවත්කර ඇති එම ලිපියෙහි සදහන්ය. මේ දේවල් වන විට රන්මල් කොඩිතුවක්කු මහතාගේ මුවින් මත්පැන් ගද වහනය වූ බවද එහි සදහන්ය.

    අවසානයේදී සිය සේවා දායකයාව කිරිඇල්ල ග්‍රාමීය රෝහලටරැගෙන ගොස් වෛද්‍යවරයාට බලපෑම්කර පොලීසිය තුළදී පහරදීමක් සිදු ව නොමැති බවට වාර්තාවක්ද සකස්කරගෙන ඇති බවද එම ලිපියෙහි සදහන්ය.

    පිටුහයකින් සමන්විත එම ලිපියෙහි තවදුරටත් සදහන් වන්නේ ලබාගත් නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයකර නින්දා අපහස කරන බවට පවා සිය සේවා දායකයාට තර්ජනය කර ඇති බවය.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා සම්බන්ධයෙන් මේ වන විට පොලීසිය ගෙන ඇති උපරිම ක්‍රියාමාර්ගය වී ඇත්තේ ඒ වන විට ඔහු දැරූ සබරගමුව පළාත්භාර පොලිස් ප්‍රධානියා තනතුරින් ඉවත්කර පොලිස් රෝහල සහ සුබසාධන අංශයේ ප්‍රධානියා ලෙස පත්කිරීම පමණි.

    එහෙත් එම පහරදීමට දින කිහිපයකට පෙර මඩකලපුවේදී රථවාහන අංශයේ කොස්තාපල්වරයෙක් යතුරු පැදිකරුවෙකුට පහරදීමක් සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාත්මක වූයේ එම පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමිණි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.