fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෞද්ගලික බස්රථ හිමියන් 20,000කට සහන පැකේජයක්

    පෞද්ගලික බස්රථ හිමියන් 20,000කට සහන පැකේජයක්

    කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසර එකහාමාරක කාලයක් අස්ථාවර වු පෞද්ගලික බස්රථ කර්මාන්තය නැවත නගාසිටුවීම සඳහා සහන පැකේජයක් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    මේ වන විට පළාත් සහ අන්තර් පළාත් පෞද්ගලික බස්රථ 20,000කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා මගී ප්‍රවාහන සේවාවේ නිරත වේ. එහෙත් කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙම බස්රථ වල ආදායම් අහිමිවීම නිසා නඩත්තු කටයුතු පවා සිදු කිරීමට නොහැකි වී ඇත. මෙම වැඩපිළිවෙල යටතේ බස්රථ කර්මාන්තයට සම්බන්ධ පෞද්ගලික ආයතන 06ක් මෙම සහන පැකේජය ලබා දීමට දායකත්වය ලබා දී ඇත.

    මෙම පැකේජ යටතේ යළි ප්‍රවාහන සේවාවට යොදවන බස්රථ සදහා අවශ්‍ය ටයර්,බැටරි, ලිහිසි තෙල් හා අමතර කොටස් සදහා දැනට වෙළදපොලේ ලබාදෙන වට්ටම්වලට අමතරව විශේෂ වට්ටම් ලබාදීමට එම පෞද්ගලික ආයතන ජාතික ප්‍රවාහන සේවා කොමිෂන් සහාවට එකඟතාවය පලකර ඇත.

    ඒ් අනුව ප්‍රවාහන සේවා නැවත ආරම්භ කිරිමේදි මෙම වැඩපිළිවෙල යටතේ එක් බස්රථ හිමියකු සදහා රුපියල් ලක්ෂයකට ආසන්න මුදල් වටිනාකමකින් යුත් සහන පැකේජයන් ලබාදිමට නියමිත බව ප්‍රවාහන ආමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

    මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ, පෞද්ගලික බස්රථ කර්මාන්තය කඩා වැටීමට ඉඩ දෙන්නේ නැති බවය.

    “අද පෞද්ගලික බස් රථ සේවාව මගින් මේ රටේ ජනතාවට වන සේවාව අති මහත්. නමුත් මේ වන විට පැවති කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ලංකාවේ පෞද්ගලික බස් කර්මාන්තය බිඳ වැටි තිබෙනවා. මේ බස් කර්මාන්තය රැක ගැනීම අප කාගෙත් වගකීමක් සහ යුතුකමක්. ඒ නිසා බස් කර්මාන්තය නැවත වරක් නගා සිටුවීමට වත්මන් රජයේ අරමුණ වී තිබෙනවා.

    අප කොහෙත්ම පෞද්ගලික බස්රථ කර්මාන්තය කඩා වැටීමට ඉඩ දෙන්නේ නැහැ ඒ සඳහා තමයි බස් රථ කර්මාන්තයට සම්බන්ධ පෞද්ගලික අංශයත් එක්ව මෙම සහන පැකේජ වැඩසටහන දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.එමෙන්ම මෙම වැඩ පිලිවෙල දියත් කිරීම සදහා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් විශාල කාර්ය භාරයක් ඉටු කර තිබෙනවා.”

    අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම අදහස් පල කළේ, පසුගියදා (13) දින සබරගමු පළාත් සභා ශ්‍රවනාගාරයේදි, රත්නපුර දිස්ත්‍රික්කයේ පෞද්ගලික බස්රථ හිමියන්ට මෙම සහන පැකේජ ලබාදීම වෙනුවෙන් ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවති උත්සවයකදීය.

    මෙ වැඩ පිළිවෙල යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් බස්රථ හිමියන් 1916කට හා අන්තර් පළාත් බස්රථ හිමියන් 419 දෙනෙකුට මෙම සහන පැකේජ ලබාදීම අද 13 දින ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුරයේ පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේදි සිදු කෙරිණ. මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බැකඩුව,සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න, ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම යන මහත්වරුන් පිරිසක් සහභාගි වුහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.